Monday, 17 December 2018

පොළොන්නරුව යුගය එක්සේසත් කළ පළමුවන විජයබාහු රජතුමා ගැන දැන ගනිමු


මව ලෝකිතා කුමාරිකාවය. පියා මොග්ගල්ලාන කුමාරයාය. මව් දාඨෝපතිස්ස පරපුරෙන්ද පියා පස්වන මිහිඳු පරපුරෙන්ද පැවත ආවෝය.

ක්‍රි.ව 1039 දී ලෝකිතා කුමරියට උපන් පුතා “කීර්ති” නම් විය. මේ වකවානුව වනවිට ලංකාවේ උතුරුකරය සොලී ආධිපත්‍යයට යටත්වී තිබුණි. පොලොන්නරුව ‘ජනනාථපුරය’ ‘පුලස්තිපුරවරය’ යන සොලී නම්වලින් පාලනය කළ හින්දු භක්තිකයෝ දකුණු පලාතේ කිසිවකුටත් උතුරු කරයේ සැරි සරන්නට පවා ඉඩක් නොතැබූහ.

වෙහෙර විහාර කඩා සමතලා කර දමා ශිව කෝවිල්-ගණදෙවි කෝවිල් ගම්මඩු තනාගත් සොලීහු ඉපැරණි මන්දිර මණ්ඩප පොත්ගුල් බිඳ දැමූහ. වැව් අමුණු කඩා දමා තිබුණි. උදාර ජාතියක් වශයෙන් බුදුදහමේ පිහිටෙන් රජරට ගොඩනගා තිබූ ඉසුරුබර පරිසරය සොලීන් විසින් විනාශකර දැමීම දකුණේ සිංහලයන් විසින් විඳ දරාගත්තේ අපමණ හිත් වේදනා විදිමිනි. කොයි මොහොතක හෝ රජරට නිදහස් කර ගැනීමට අවස්ථාවක් සලසා ගැනීමට දකුණු කරයේ සිංහලයෝ පුල පුලා සිටියහ.

කඩු ශිල්ප දුනු ශිල්ප අසු මෙහෙයවීම පමණක් නොව සියළු යුද ශිල්ප හදාරා මලයරට අධිපති ධූරයට පත් කීර්ති නම් නෑඹුල් තරුණයාගේ ඉරණමට හරස්වූයේ අපේම ජාතියේ අපේම වර්ගයේ අපේම රදලයන්ය. ඒ වනවිට කතරගම අධිපති ධූරය හෙබවූ ලෝකේශ්වර රජ කීර්තිගේ නැගීසිටීමට විරුද්ධව යටිකූට්ටු ව්‍යාපාරයක් දියත් කලේය. පුරා අවුරුදු 6ක් තිස්සේ සටන් වැදෙමින් සිටි ලෝකේශ්වරයන් මියයන තුරුම කීර්තිට උතුර ගලවාගන්නට ඉඩ නොදුන්නේය.

ඉක්බිතිව කතරගම රජ බවට පත් කේශධාතු කාශ්‍යපද කීර්ති තුන් සිංහලයේම රජ බවට පැමිණෙනවාට විරුද්ධව සටන් ව්‍යාපාරයක් ගෙන ගියේය. පස්යොදුන් රටින් කැඳවූ සෙබල මුලක් රැගෙන කේශධාතු කාශ්‍යප හා සටන් වැද ඔහු කතරගමින් පලවා හැරි කීර්ති උතුරට යාමට තීරණය කර ගත්තේය. කීර්ති විජයබාහු නමින් අභිෂේක වුවද, තමාට ඇති එකම අභියෝගය උතුර සොලීන්ගෙන් බේරාගැනීම වුවද, එය පහසුවෙන් කළ කළ හැක්කක් නොවන බවද, තේරුම් ගත්තේය.

විජයබාහු රුහුණේ සිට උතුර ගැන සිතන විටත් ඒ බව උතුරුකරයේ සොලී පාලකයෝ දැනගත්හ. වහාම විශාල සොලී සේනාවක් කතරගම සිටින විජයබාහු විනාශ කර දැමීමට පිටත් කරන ලදි. සූදානමක් නැතිව සිටි විජයබාහු යුද උපායන් යොදා ගනිමින් කතරගම හැර කදුරටට පලා ගියේය. සොලීහු කතරගම දෙසවූ වෙහෙර විහාර බලකොටු බිඳ සුනු විසුනුකර ජයග්‍රාහීව ආපසු උතුරට ගියෝය.

විජයබාහු නොපමාව ආපසු කතරගම බලා ගොස් සේනාව තර කලේය. ලුනු, පොල්, වී ගබඩා කර ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසුවේය. මේ වනවිට රජරට වැසියන් සොලීන්ට විරුද්ධව කුමන්ත්‍රණ, සාකච්ඡා ඇතිකර තැන තැන කැරලි ව්‍යාපාර දියත් කර තිබුණි. යුද වැද සොලීන්ට හොඳ පාඩමක් උගන්වන්නට අවස්ථාව සොයාගත් විජයබාහු හමුදා සේනාවක් කැදවූවේය.

නැගෙනහිර වෙරලාසන්නයෙන් ගමන්කර පොළොන්නරුවට පහරදීමටද බටහිර වෙරලාසන්නයෙන් ඉදිරියට ගොස් අනුරාධපුරයට පහරදීමටද, හමුදාවක් රැගෙන මහියංගනය පසුකර පොලොන්නරුව සොලී බලකොටුවලට කඩාවැදීමටද, විධි විධාන යෙදවිනි. 1070දී ත්‍රිකෝණ සටන් ව්‍යාපාරය රජරට පීරා පොලොන්නරු පුරවරයෙහි සොලීන් සමූල ඝාතනය කර ජනතා දුක් ගින්දර නිවාලීය. 1072දී රුහුණු මායා පිහිටි තුන්රටම එකම ධජයක් යටතේ පාලනයට පවරාගත් විජයබාහු පොලොන්නරුව “ශ්‍රී විජයරාජපුර” යනුවෙන් නම්කර අගනුවර කොට ගත්තේය.

කාලාන්තරයක් තිස්සේ සොලීන් විසින් කරන ලද තාඩන පීඩන ගැන සිතූ විජයබාහු තවත් යුධ උපක්‍රමයක් වශයෙන් අසල්වැසි රටවල බලවත් රජුන් තමන් වෙත ඈදා ගැනීමටද, උපක්‍රමශීලී පියවර කීපයක් ගත්තේය.
බිරිඳක් වශයෙන් කනමුජ්ජි ජගතපාල රජුගේ දියණිය ලීලාවතී තම බිසව වශයෙන් ගෙන්වා ගත්තේය. කාලිංග රාජවංශික කුමාරියක් වූ තිලෝක සුන්දරියද බිසවක් කරගත් විජයබාහු තම නැගණිය මිත්තාවන්ද පඬිරට කුමාරයෙකුට සරණපාවා දුන්නේය.

අවුරුදු දහසකටත් අධික කාලයක් මුළුල්ලේ සිංහල රාජාවලියේ පින්වත් රජ දරුවන් ගොඩනගා සොලීන් විසින් සුනු විසුනු කර තිබූ වෙහෙර විහාර මන්දිර වැව් අමුණු දාගැබ් පිළිම විජයබාහු ඒ වූ පරිද්දෙන්ම යලි පිළිසකර කරවූයේය.

පොලොන්නරුවේ නව දළදා මන්දිරයක්ද, නව මහල් මන්දිර කීපයක්ද අළුතෙන් ඉදිකළ අතර ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් සිය ධනයත් කාලයත් මහ පරිමාණයෙන් වැය කළේය. එහි ප්‍රථිපලයක් වශයෙන් රටවැසියෝ සුඛිත මුදිත වූහ. රටට සෞභාග්‍යය උදාකළ මහා විජයබාහු රජ ක්‍රි.ව 1111 වැන්නේ පරළෝසැපත් වූහ.

ශතවර්ෂ භාගයකටත් වැඩි කාලයක් මේ රටේ සම්පත් සූරාකමින් ජාතික සම්පත් විනාශ කරමින් රට වැසියා තලා පෙලා වෙහෙර විහාර, දාගැබ්, පෙතිපිළිම බිමට හෙලූ සොලී බලය සුන් කිරීමට විජයබාහු රජුට සිදුවූයේ තනිවමය. දුටුගැමුණු රජුට සංඝයා වහන්සේගෙන්ද, මව්ගෙන්ද, රැකවරණය ලැබිණි. පරාක්‍රමබාහු රජුටද ඒ වෙනුවට තනිවම සටන්කර සොලීන් එළවා දැමීමේ කාරයයටත් වඩා අභ්‍යන්තරයේ හතුරුකම් මැද සොලීන් පළවා හැරීමට සිදුවිය. එවන් වාතාවරණයක් යටතේ මහා විජයබාහු හෙල රාජවලියේ වීර සිංහලයෙකු වශයෙන් සටහන් විය යුත්‍ය.


(උපුටා ගැනීම - නිමල් ප්‍රේමතිලක මහතාගේ අපේ ජාතික වීරයෝ කෘතියෙනි)