Wednesday, 15 May 2019

පෘතුගීසීන්ට ආසියාවේ ලැබූ ලොකුම පරාජය හිමිකරදුන් ඓතිහාසික දන්තුරේ සටන



දන්තුරේ සටන යනු එවකට ලංකාවේ පහතරට පාලනය කළ පෘතුගීසීන් මෙරටදී මෙන්ම ඔවුන්ගේ යටත් විජිත රාජ්‍යවලදී ලැබූ දරුණුම පරාජය උරුම ලැබූ සටනකි. මෙකී සටන ක්‍රි.ව 1594 ජුලි 5 දින සිට එම වසරේම ඔක්තෝබර් 9 වන දින දක්වා ක්‍රියාත්මක වූ බව ඉතිහාසය දක්වයි. මෙම සටන පෘතුගීසි සෙනෙවි පේරෝ ලෝපේස්ද සූසා විසින්ද උඩරට හමුදාව පළමුවන විමලධර්මසූරිය රජතුමා විසිනුත් මෙහෙයවනු ලැබිණි.

දන්තුරේ සටනට හේතුව
1581 වසරේදී එවකට සීතාවක රජකළ මායාදුන්නේ රජතුමා මරණයට පත්වීමෙන් අනතුරුව එහි පාලකයා වූයේ පළමුවන රාජසිංහ රජතුමාය. මෙකල උඩරට රාජධානිය පාලනය කළේ කරල්ලියද්දේ බණ්ඩාරය. රාජසිංහ රජු හා උරණ වූ කරල්ලියද්දේ බණ්ඩාර තම ආරක්ෂාව උදෙසා තම දියණිය වූ කුසුමාසන දේවිය හා බෑනා වූ යමසිංහ බණ්ඩාර සමග පෘතුග්‍රීසීන් වෙත පලා ගියේය. ඔහුගෙන් පසුව උඩරට පාලනය භාරගත්තේ වීරසුන්දර බණ්ඩාරය. මෙහිදී ඔවුන් වෙත ආ කුසුමාසන දේවිය දෝන කතිරිනා ලෙසද යමසිංහ බණ්ඩාර දොන් පිලිප් ලෙසද බෞතිස්ම කිරිමට පෘතුගීසින් කටයුතු කලෝය.

උඩරට රජුවූ වීරසුන්දර බණ්ඩාර වෙත ලැබෙන ජනතා සහයට බියවූ සීතාවක රාජසිංහ රජතුමා කූට උපක්‍රමයක් යොදවා ඔහුව බොරුවලක දමා මරණයට පත්කරලීය. මෙයින් බියට පත්වූ වීරසුන්දර බණ්ඩාරගේ පුතුවූ කොනප්පු බණ්ඩාර පෘතුග්‍රීසීන් වෙත පලා ගියේය. එහිදී පෘතුග්‍රීසීන් සමගින් යුධ පුහුණුව ලබන කොනප්පු බණ්ඩාර දොන් ජුවන් ලෙස බෞතිස්ම ලැබීය.

දොන් ජුවන් හා දොන් පිලිප් සමග පෘතුගීසි සේනාවක් පැමිණ සීතාවක හා යුද කොට උඩරට රජවීමට දොන් පිලිප් හෙවත් යමසිංහ බණ්ඩාර සමත් විය. මෙහිදී යමසිංහ බණ්ඩාර පෘතුග්‍රීසීන්ගේ රූකඩයක් බවට පත්වී සිටියේය. මෙහිදී ජනතාව ඔහුගේ සේනාධිපති වූ කොනප්පු බණ්ඩාර සමග කැරැල්ලක් කොට යමසිංහ බණ්ඩාර මරා දැමුවේය. එහිදී උඩරට රජවන කොනප්පු බණ්ඩාර පළමුවන විමලධර්මසූරිය නමින් රජවන්නේ උඩරැටියන්ගේ දැවැන්ත ප්‍රීතිගෝෂා මධ්‍යයේය.

මෙය දැනගත් පෘතුගීසින් දැඩි කෝපයට පත්ව විමලධර්මසූරිය රජුට විරුද්ධව යුද ප්‍රකාශ කළහ. ඒ අනුව උඩරට ආක්‍රමණය කර විමලධර්මසූරිය පරදවා ඔවුන් යටතේ වූ කුසුමාසන දේවිය උඩරට රැජින කරලීමට පෘතුගීසීන් සැලසුම් කලහ. ඒ අනුව 20,000 කට අධික සේනාවක් සමග 1594දී උඩරට ආක්‍රමණයට පෘතුග්‍රීසීන් නික්මෙන්නේ පේරෝ ලෝපේස්ද සූසා ගේ නායකත්වයෙනි.

ස්වභාවික ගිරිදුර්ග, වන දුර්ග හා කදුවැටි වලින් යුතුවූ උඩරට රාජධානිය කිසිම සුපිරි හමුදාවකට යටත් කරගැනීමට නොහැකි ලෙසින් ස්වභාවිකව ආරක්ෂිත බවකින් යුතුවිය. කෙසේවෙතත් පෘතුගීසීන්ට උඩරට එන්නට ඉඩ හැර ඉතා සූක්ෂම ලෙස විමලධර්මසූරිය රජු පලා යන්නේ මේ අවස්ථාවේය. ලද අවස්ථාවෙන් උඩරට පැමිණෙන පෘතුග්‍රීසීන් එහිදී දෝන කැතිරිනා කුමරිය උඩරට රැජින ලෙස ප්‍රකාශයට පත් කළෝය.
උඩරට රැදී සිටීම භයානක බව දැනගත් සූසා ඇතුළු සේනාව නැවත කොළඹ බලා යෑමට සැරසුනු අතර ඔවුන් දන්තුරේ වෙල හරහා ගමන් කිරීමේදී රැක සිටි උඩරට සේනාවෝ පෘතුග්‍රීසීන්ට පන්න පන්නා පහර දුන්නේය. මඩේ එරුනු වෙඩි බෙහෙත් නිසා කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමට පෘතුග්‍රීසීන්ට නොහැකි වූ අතර සූසාද මේ සටනින් මරණයට පත්විය. අතලොස්සක්වූ පෘතුග්‍රීසීන් පිරිසක් කොළඹට පලා ගිය අතර බහුතරය විනාශ විය. මෙහිදී උඩරැටියන්ගේ ගරිල්ලා සටන් කැපී පෙනුනි.

අවසනදී විමලධර්මසූරිය රජතුමා කුසුමාසන දේවිය විවාහ කරගත් අතර එමගින් රජකමේ නීත්‍යානුකූල බව ඔහුට උරුම විය. මේ ලද පරාජය ගෝවේ සිටි පෘතුග්‍රීසී ආණ්ඩුකාරවරයාට ආරංචි වූ අතර එහිදී ලංකාවේ පෘතුග්‍රීසී පලනය දොන් ජෙරනිමෝද අසවේදුට පැවරුනි. ඒ අනුව මෙලෙස පෘතුග්‍රීසීන් හා උඩරට අතර පළමු සටනින් උඩරැටියෝ ජයගත්හ. 1815දී උඩරැටියන් ඔවුන්ගේ රජු පාවා නොදෙන්නට ලංකා ඉතිහාසය මීට වඩා වෙනස් වීමට බොහෝ ඉඩකඩ තිබුණි.