Tuesday 19 September 2017

වල් පැළ පාලනය සදහා රසායනික වල්නාශක භාවිතය

(Image Source - www.colombotoday.com )

වල්නාශක භාවිතය යනු ඕනෑම කෘෂිකාර්මික භූමියක වල් පැළෑටි මර්දනය කිරීම සදහා භාවිතා කළ හැකි සරලම හා පහසුම ක්‍රමවේදයයි. මේ නිසාම බොහෝ ගොවීන් කිසිම දැනුමක් හෝ පාලනයකින් තොරව මෙම වල්නාශක භාවිතා කිරීමට හුරුවී සිටිති. මීට හේතුව ලෙස දැක්විය හැකි වන්නේ ගැලපෙන වල්නාශක තේරීම හා යෙදීම පිළිබඳව ගොවීන්ගේ ඇති නොදැනුවත් කමයි.
එබැවින් අද දිනයේ කෘෂිකර්මය පාඩම යටතේ අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම වගා බිමට යොදන වල්නාශක නිවැරදිව තේරීම සිදුකරන ආකාරය පිළිබඳවයි.

වල්නාශක තේරීම කරන්නේ කෙසේද?

ක්‍රියාත්මක වන ආකාරය හා මර්දනය වන වල්පැළෑටි සළකා බලා වල්නාශක වර්ග කිරීම සිදුකළ හැක.

1) ස්පර්ශ වල්නාශක

මෙහිදී වල්නාශකය තැවරුණු ශාක කොටස් පමණක් විනාශ කරලීම සිදුවේ. මේවා නැවත කොටස් 2කට වර්ග කළ හැකිය.
                -සියල්ල නසන වල්නාශක
මෙහිදී ස්පර්ශ වන වල්නාශකය සියලුම පැළ විනාශ කරලීම සිදුකරයි.
උදා: පැරකොට්

                -තෝරා නසන වල්නාශක
මෙහිදී ස්පර්ශ වන වල්නාශකය තෝරාගත් පැළ පමණක් විනාශ කරලීම සිදුකරයි.
උදා: 3,4 DPA

2) සංස්ථානික වල්නාශක

මෙහිදී සිදුවන්නේ අදාල වල්නාශකය වල් පැළයේ තැවරුණු ස්ථානයෙන් ශාකයට ඇතුළු වී සෑමතැනටම ගමන් කර මුලු පැළයම විනාශ කරලීමයි. මෙයද නැවත සියල්ල නසන හා තෝරා නසන ලෙස වර්ග කළ හැකිය.
                -සියල්ල නසන - ග්ලයිෆොසෙට්
                - තෝරා නසන - MCPA

මෙම වර්ගීකරණයට අමතරව වල්නාශක යොදන අවස්ථාව අනුවද වර්ග කරලීම සිදුකළ හැකිය.

1) බෝගය සිටුවීමට පෙර යොදන වර්ග
                උදා: පැරකොට්

2) පූර්ව නිගමන වල්නාශක
බීජ හෝ පැළ සිටුවීමෙන් අනතුරුව වල්පැළෑටි මතුවීමට ප්‍රථමව පසේ තෙත සහිත අවස්ථාවල යෙදීම සිදුකරනු ලැබේ.
උදා: ඇලක්ලෝ, බියුටක්ලෝ

3) පශ්චාත් නිර්ගමන වල්නාශක
වගාවේ වල්පැළ මතුවීමෙන් අනතුරුව යෙදීම සිදුකරලයි.
උදා: 2,4 D , M.C.P.A , ග්ලයිෆොසෙට්

ඉහත ක්‍රම 2ට අමතරව වල්නාශක පසට යොදන වර්ග හා පත්‍රවලට යොදන වර්ග ලෙසද බෙදා දැක්විය හැකිය.

·         පසට යොදන වල්නාශක

බොහෝවිට මෙහිදී යොදනු ලබන්නේ පූර්ව නිගමන වල්නාශකයි
උදා: ඇලක්ලෝ, බියුටක්ලෝ

·         පත්‍රවලට යොදන වල්නාශක

උදා: 2,4 D, M.C.P.A

වගා භූමියකදී යෙදිය යුතු රසායනික වල්පැළෑටි නාශකය නිවැරදිව තෝරා ගැනීම ඉතා අත්‍යවශ්‍ය වන අතර ඉහත වර්ගීකරණ පිළිබඳ අවබෝධය ඒ සදහා වැදගත් වේ. එසේම වල්නාශක භාවිතයේ පහත කරුණු පිළිබඳවත් දැනසිටීම වැදගත් වේ.
* භූගත කදන් සහිත වල්පැළ පාලනය කරලීම සදහා සංස්ථානික වල්පැළෑටි නාශකයක් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ.
* භූගත කදන් රහිත වල්පැළ පාලනය සදහා ස්පර්ශ වල්නාශක යෙදීම ප්‍රමාණවත් වේ.
* බෝගය ස්ථාපනය කිරීමෙන් අනතුරුව වල්නාශක භාවිතා කරන්නේ නම් තෝරා නසන වල්නාශක වර්ගයක් තෝරා ගැනීම උචිතය
* බෝගයක් ස්ථාපනය නැති අවස්ථාවලදී හා බහුවාර්ෂික බෝගවල පැළ අතර ඇති වල්පැළ පාලනය කරලීම සදහා සියල්ල නසන වල්නාශකයක් යෙදීම උචිතය

මෙම රසායනික වල්නාශක භාවිතය පහසු වුවත් ඒවායේ ඇති අහිතකර ප්‍රථිපලද රැසකි. මේවා මිනිසාට, සතුන්ට හා පරිසරයට ගෙන දෙන්නේද විනාශකාරි ප්‍රථිපලයකි. එබැවින් මෙම වල්නාශක භාවිතා කරලීම හැකිතරම් අවම කර ඒකාබද්ධ වල්පැළ පාලනය වැනි ක්‍රමවේදවලට මූලික තැනක් දීමට ගොවීන්, සිසුන් හා වගාකටයුතු කරන සියලු දෙනා වග බලා ගැනීම කාලෝචිත වේ.