Friday 1 February 2019

විටමින් හා එහි වැදගත්කම විමසා බලමු



විටමින් යනු කාබෝහයිඩ්‍රේට් හා ලිපිඩ සේම කාබනික සංයෝග වර්ගයකි. මෙම විටමින් ශරීරයෙහි සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවලට දායක වන අතරම ශරීරයේ නිරෝගී බව පවත්වා ගැනීමටත් ඉතා වැදගත් වේ. ද්‍රාව්‍යතාවය අනුව මෙම විටමින් ප්‍රධාන කොටස් දෙකකට වර්ග කිරීම කළ හැකිය. විටමින් B හා  C ජලයේ දියවන අතර විටමින් A, D, E හා K යන ඒවා ජලයේ දිය නොවේ. නමුත් මේවා මේදය තුළ දියවීම සිදුවේ.
දැන් අප මෙම විටමින් වර්ග පිළිබඳව වෙන වෙනමම සලකා බලමු.

විටමින් A
පෙනීමට ඉවහල් වන දෘෂ්ටි වර්ණක සෑදීමට අතිශය වැදගත් වේ. එසේම සමේ පැහැපත් භාවයට වගේම නීරෝගී බව පවත්වාගැනීමද ඉවහල් වේ.

ඌනතා ලක්ෂණ
1)      රාත්‍රී අන්ධතාවය ඇතිවීම
2)      ඇසේ බිටෝ ලප ඇතිවීම
3)      සමේ වියළි බව ඇතිවීම
4)      වැලමිට හා දණහිස අවට කටු වැනි බිබිලි ඇතිවීම
5)      ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවීම


විටමින් B
ස්නායු පටකවල නිසි පැවැත්මට වගේම රතු රුධිරාණු සෑදීමට අවශ්‍ය සංඝටකයකි. එසේම සම නිරෝගීව පවත්වා ගැනීමට, මේද පරිවෘත්තියට, ඇටමිදුළු නිර්මාණයට, රක්තානුවල පරිණතියට වගේම ප්‍රතිදේහ සෑදීමටද විටමින් B වැදගත් වේ.

විටමින් B යනු සංකීර්ණ විටමිනයකි. එහි විටමින් B1,B2,B3,B4.....,B12 ලෙස ප්‍රභේද වෙයි. මේවා ප්‍රධාන වශයෙන් ආහාර මගින් ශරීරයට ලැබෙන අතර සමහර විටමින් මිනිසාගේ අන්ත්‍රයේ ජීවත් වෙන බැක්ටීරියා විසින් නිපදවනු ලබයි.

ඌනතා ලක්ෂණ
1)      බෙරි බෙරි රෝගය ඇතිවීම
2)      මුඛ කොන් වණවීම
3)      රක්තහීනතාවය ඇතිවීම
4)      සමේ වියළි බව සහ වර්ණ වෙනස් වීම


විටමින් C
සමේ නිරෝගිභාවය සදහා වැදගත්වන තවත් විටමිනයකි. දත්වල එනමලය සෑදීමට වගේම කොලැජන් තන්තු සංශේෂලණය සදහාද වැදගත් වේ.

ඌනතා ලක්ෂණ
1)      විදුරුමස් දුර්වල වීම
2)      අභ්‍යන්තර රුධිර ගැලීම් ඇතිවීම
3)      රෝග සුව වීමට කාලය ගත වීම
4)      ස්කර්වි රෝගය


විටමින් D
ශරීරයේ කැල්සියම් හා පොස්පරස් අවශෝෂණය පාලනය කරනු ලබන්නේ මෙම විටමිනයයි. රිකට්සියාව යන රෝගය ඇතිවන්නේ මෙහි ඌනතාවය නිසාය.


විටමින් E
මෙය සෛල හා පටක වර්ධනය කෙරෙහි වැදගත් වේ.

ඌනතා ලක්ෂණ
1)      පරිණත නොවූ දරු උපත්
2)      රතු රුධිරාණු බිදී යාම වේගවත් වීම
3)      සෛල විභාජනයේ දුර්වලතා
4)      ප්‍රජනනය හා සම්බන්ධ ගැටලු


විටමින් K

රුධිරය කැටිගැසීමට අවශ්‍ය සංඝටක සෑදීමට මෙම විටමිනය වැදගත් වේ. රුධිරය කැටි ගැසීම ප්‍රමාද වන්නේ මෙහි ඌනතාවයක් ලෙසය.