ඉතින් අදත් අපේ යාලුවන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණ ඇතිව අපි ගෙනාවා විශේෂාංග ලිපියක්. මේ ලිපිය ඉතිහාසය විෂය අධ්‍යනය කරන යාලුවෝ ඔක්කෝටමත් චිත්‍ර විෂය හදාරන ඔබටත් ඉතා වැදගත් වේවි කියලා මම හිතනවා. ඒ වගේම අපේ කලින් ඉතිහාසය පාඩමත් ඔයාලා කියවන්න ඇති කියලා මම හිතනවා.
අද අපි මේ ගෙනහැර දක්වන්න යන්නේ පැරණි ලාංකිකයන් සතුවූ අපූර්ව කලාත්මක හැකියාව පිළිබිඹු කරන අවුකන බුද්ධ ප්‍රතිමාව පිළිබද තොරතුරු බිදක් .
ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා නෙළීම ආරම්භ වූයේ කවරදාකද යන්න ඉතිහාසය තවමත් ගෙනහැර දක්වන්නේ නැහැ. නමුත් වංශ කතාවලට අනුව නම් ක්‍රි.පූ තුන්වන සියවසේදී දෙවන පෑතිස් රජතුමා ථූපාරාමයේ බුදු පිළිමයක් තැන්පත් කළ බව සදහන් වෙනවා. කොහොමවුනත් ඒ පිළිබදව තවමත් වැඩිදුර සාක්ෂි සොයාගන්නට ඉතිහාසඥයන් අසමත් වෙලා තිබෙනවා.
මහාවංශය සදහන් කරන ආකාරයට දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලිසෑයේ ධාතු ගර්භයේ බුදු පිළිමයක් තැන්පත් කළ බව සදහන් වෙනවා. ඒ වගේම වසභ රජතුමන් විසින්ද ශ්‍රී මහා බෝධියේ සතර පැතිවල බුදුපිළිම හතරක් කරවූ බවත් වෝහාරික තිස්ස, ගෝඨාභය, ජෙට්ඨතිස්ස මෙන්ම ධාතුසේන යන රජවරුන්ද ගල් හා ලෝහ යොදාගෙන බුදුපිළිම නිර්මාණය කළ බව අපේ පැරණි වංශ කතා හෙලිදරව් කරනු ලබනවා.
මේ වංශ කතා හා අනෙකුත් මූලාශ්‍ර සදහන් කරන තොරතුරු සලකා බලන විට අපට ලංකාවේ බුදුපිළිම නෙළීම අතින් දියුණු තාක්ෂණයක් තිබූ බව අනිවාර්යෙන්ම සැලකිය හැකිය. ඒ බව මනාව පිළිබිඹු කරන ස්ථාන විදියට සමාධි බුද්ධ ප්‍රතිමාව, මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව වගේම දක්වන්න පුලුවන්.
අවුකන බුදු පිළිමය
අනුරාධපුර යුගයේ නිර්මාණය වූ හිටි පිළිම සලකා බලන කල්හි ඉතාම වැදගත් නිර්මාණයක් ලෙස අවුකන බුද්ධ ප්‍රතිමාව සදහන් කරන්න පුලුවන්. මෙය ක්‍රි.ව 5 වන සියවසේ රජකල විශිෂ්ඨ රජෙකු ලෙස සැලකෙන ධාතුසේන රජතුමන්ගේ නිර්මාණයක් ලෙස සැලකෙනවා.
කලා වැව ආසන්නයේ පිහිටා තිබෙන අවුකන ග්‍රාමයේ මෙය පිහිටි බැවින් මෙයට ඒ නම ලැබී තිබෙනවා. කළුගල් පර්වතයේ පූර්ණ උන්නතව පද්මාසනයක් මත වැඩසිටින ආකාරයෙන් නිර්මිත මේ බුදුපිළිමය උසින් අඩි 38යි අගල් 10 ක් පමණ වනවා. දකුණු අතින් අභය මුද්‍රාවත් වමතින් සිවුරු රැල්ල දරා සිටින අයුරින් නිර්මිතයි. ඒකාංශ ක්‍රමය අනුව සිවුර රිද්මයානුකූල වූ රැළි රටාවකින් යුක්ත වන අතර එය ඇගට ඇලුණු ස්වභාවයක්ද දක්නට පුලුවන්. අනුරාධපුර යුගයේ බුද්ධ ප්‍රතිමාවලට ආවේණික වූ සිවුරේ ඇති තනි රැල්ල මෙම පිළිමය තුලින්ද මනාව ඔප්නංවා තිබෙන අයුරු දකින්නට පුලුවන්.
මෙම බුද්ධ ප්‍රතිමාව ධාතුසේන රජතුමන්ගේ නිර්මාණයක් ලෙස පිළිගැනීමට සමහර උගතුන් දක්වන්නේ මැළිකමක් නමුත් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස වී ඇත්තේ මෙය ධාතුසේන රජතුමන්ගේ නිර්මාණයක් බවයි.
මුහුණු අණ්ඩාකාරව නිමැවී ඇති අතර දෙඇස්වලින් ගැඹුරු හැගීම් විදහා දක්වන බව වියතුන්ගේ අදහස වී තිබෙනවා. හිස මුදුනේ දක්නට ඇති සිරස්පත් බිමට වැටී තිබුණු බවත් පසුව ඒවා සවිකරන්නට ඇතැයි යන්නත් බොහෝ දෙනා විශ්වාස කරනු ලබනවා. මෙහි තිබී සොයාගත් සෙල්ලිපි සදහන් කරන ආකාරයට අවුකන පිළිමයෙහි පද්මාසනය අටවන හා නවවන සියවස් වලට අයත් වූවක් බව සැලකිය හැකි වනවා.
මෙම බුදුපිළිමයෙන් පිළිබිඹු කරනුයේ ගෞතම බුදුරජාණන් වහන්සේ නොව දීපංකර බුදුරජාණන් වහන්සේ බව බොහෝ උගතුන් හා වියතුන් විශ්වාස කරනවා. මන්ද ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිබිඹු කරන බුද්ධ ප්‍රතිමා සාමාන්‍යයෙන් දහ අට රියනක් වූවත් මෙය ඊට වඩා උසින් යුතු වීම එයට හේතුව විදියට සදහන් කරන්නට පුළුවන්. මෙමගින් අභය මුද්‍රාව නිරූපනය කරන අතර එමගින්ද මින් පිළිබිඹු කරනුයේ දීපංකර බුදුරදුන් බව සැලකිය හැකි බව විද්වතුන්ගේ මතයයි.
පැරණි ඉන්දියාවේ කලාව තුල පැවැති විශිෂ්ටත්වය පෙන්නුම් කරන අමරාවතී බුදුපිළිම වල දක්නට ලැබෙන ලක්ෂණ අවුකන බුදුපිලිමයේද දකින්නට හැකි බව දැක්වෙනවා.
අවුකන බුද්ධ ප්‍රතිමාවේ නිර්මාණ ශිල්පියා ගත්කල ඔහුට මානව රූපය පිලිබදව හසල දැනුමක් තිබූ බවට සැලකිය හැකි වනවා. එසේම මෙම පිළිමයේ ලම්භකතවය සැලකූ විට ඉතා පුදුමසහගත කාරණය නම් නාසයට වැටෙන ජල බිදුවක් පා දෙකට හරි මැදින් වැටීමයි. තවත් එවැනිම විශිෂ්ටත්වයට පිළිබිඹු කරන කාරණය නම් සිරුරේ රැළිවල දක්නට ඇති සමාන්තරත්වයයි. කළුගලක් තුළ ඇගිලිවල නියපොතු පවා දක්වා ඇති ආකාරය සලකා බැලූ කල මෙහි නිර්මාණ ශිල්පියා කෙතරම් මානව රූපය පිළිබඳව අවබෝධයකින් යුතු වූවාද යන්න නිගමනයකට එලැබීමට අපට හැකිවනවා නොඅනුමානයි. තවද මින් පෙන්නුම් කෙරෙනුයේ අතීත අපේ පැරණි මුතුන් මිත්තන්ගේ කලාවේ හා තාක්ෂණයේ පැවති විශිඨත්වය නොවේද?
එසේම මෙවැනි නිර්මාණ වලින් යුතු සංස්කෘතියක් ඇති රටක උපත ලබන්නට හැකිවීම ලාංකිකයන් වන අප සැමට ඉමහත් අභිමානයක් බව මගේ අදහසයි.
ඉතින් ඔයාලා ලබාගත්ත මේ දැනුම අනෙක් මිතුරන්ටත් කියවන්න ලබාදෙන්න ඔයාලට පුළුවන්. කරන්න තියෙන්නේ මේ ලිපිය හැකිතරම් Facebook,twitter වැනි සමාජ ජාල තුලට share කිරීම විතරයි. ඒ තුලින් අපගේ මේ බ්ලොගය වර්ධනය කිරීමට හා ජනප්‍රිය කිරීමට උපකාර වන මෙන් ඔබ සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටිනවා