Wednesday 25 January 2017

වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා දැන ගන්න කැමතිද?

 අපේ කෙත් වතු තවමත් සරු කරන්නේත් අපට දියවර සපයන්නේත් පුරාණයේ අපේ මුතුන් මිත්තන් තැනූ වැව් වලිනි. නිලට නිලේ වතුර පිරුණු වැව් වල ලස්සන විස්තර කරන්න බැරි තරම්, වැව ගැන ඇති ඉතිහාස කතාත් ඒ වගේම ලස්සනයි. මේ අපේ රටේ වැව් ගැන ඉතිහාසයේ දැක්වෙන කතා පුවත් කීපයකි.

කලා වැව



කලා වැව හදන්නට මුල් වුණේ ධාතුසේන රජතුමාය. එය ඉදි කෙරුණේ කඩවර නම් තැනැත්තෙකු දුන් තොරතුරකට අනුවයි. ජලයෙන් පිරුණු තැනක් දුටු කඩවර ඒ බව රජතුමාට දන්වා සිටියා. රජතුමා ඒ තැන ගැන සොයා බැලුවා. වැවකට ඉතාමත් සුදුසු නිසා එතැන වැවක් හැදුවා. වැව හදලා වැවේ රාජකාරි සොයා බලන්න කඩවරට පැවරුවා. කඩවර ඒ රාජකාරිය ඉතාම හොදින් ඉටු කළා. රජතුමා සතුටු වී කඩවරට බව බෝග පවා තෑගි කළා.

            රජතුමාගෙන් සැලකුම් ලද කඩවර ටික කලකින් ධනවතකු බවට පත් වුණා. කාල සිටාණන් ලෙස ප්‍රකට වුණා. වැව නිසා රජුගෙන් පැසසුම් ලත් කඩවරට මැති ඇමතිවරුන් ඊර්ෂ්‍යා කළා. ඔවුන් වැව් බැම්ම විනාශ කරන්නට උපාය යෙදුවා. එයින් වැව් බැම්ම විනාශ වුණා. දුක උහුලා ගත නොහැකි වුණු කඩවර වැවට පැන සිය දිවි නසා ගත්තා. පසුව ඔහු කඩවර දෙවි යනුවෙන් ප්‍රකට වුණා. කඩවර දෙවියන් සෑම වැවක්ම ආරක්ෂා කරන බවට ජනප්‍රවාදවල සදහන් වෙනවා.



මින්නේරිය වැව


මින්නේරිය වැව මහසෙන් රජතුමා විසින් කරවන ලද්දකි. එය තනා ඇත්තේ රජුගේ ගව පට්ටියේ එළදෙන තණ කෑ ස්ථානයක් පාදක කර ගනිමිනි. එළදෙනගෙන් දොවාගත් කිරි ඉතා මිහිරි රසයකින් යුක්ත විය. ඇගේ කිරි එතරම් රසවත් ඇයි දැයි විමසා බලන්නට රජු නියම කළා. රජුට දැනගන්නට ලැබුණේ වැල් මී වැවී ඇති වගුරු බිමකින් ඇය තණ බුදින බවයි. සතුටට පත් රජතුමා වගුරු බිමේ වැවක් තනවා කුඹුරු අස්වද්දන්නට තීරණය කළා. එනමුත් වැවේ වැවේ වැඩ කෙසේවත් අවසන් කිරීමට නොහැකි වුණා. කොතැනකින් හෝ කැඩී විනාශ වුණා. රජතුමා නැකැත් කරුවන් ලවා ඒ ගැන සොයා බැලුවා. මේ කාර්‍යය සාර්ථක කර ගැනීමට නම් රජකුමරවකු වැවට බිලිදිය යුතු බව නැකැත් කරුවන් කියා සිටියා. එහෙත් මහසෙන් රජුගේ බිසව තම පුතු බිල්ලට දීමට අකැමැති වුණා. මේ නිසා රජතුමා කනස්සල්ලට පත් වුණා. රජුගේ වැඩිමහල් සොහොයුරිය වූ බිසෝමැණිකා කුමරිය තම පුතු බිලිදීමට කැමැත්ත පළ කළා.

කුමරු බිලිදීමෙන් පසුව වැවේ කටයුතු අවසන් කළ හැකි වුණා. එහෙත් මේ සිදුවීම පිළිබඳව රජතුමා ඉතාමත් දුකට පත් වුණා.අවසානයේ මහසෙන් රජු මියගොස් දෙවි කෙනෙකු වී ඉපිද වැව් ඉස්මත්තේ වාසය කරන බවට ගැමියන් විශ්වාස කරන්නට වුණා. මින්නේරිය දෙවියන් ලෙස අදටත් පුදනු ලබන්නේ මහසෙන් රජතුමාය.



කැකිරාව වැව

දුටුගැමුණු රජ දවස ජීවත් වූ ගොවියෙක් දිනක් හේනක ඇවිදිමින් සිටියා. හේනේ කුරක්කන් ගස් කිහිපයක් තැලී පොඩිවී තිබෙනු දුටු ඔහු ඊට හේතුව සොයා බැලුවා. දුටු දෙයින් ඔහු විශ්මයට පත් වුණා. එමෙන්ම කණගාටුවටද පත් වුණා. විශාල නාගයකු හා මුගටියන් දෙදෙනෙකු සටන් කරන අයුරු ඔහු දුටුවා. ගොවියාට නාගයා ගැන අනුකම්පාවක් ඇති වුණා. ඔහු මුගුරකින් පහර දී මුගටියන් පළවා හැර නාගයා බේරා ගත්තා. වතුර ගෙනැවිත් නාගයාට පෙව්වා. එදා රැයේ ගොවියා පැල් රැක්කා. රැයේ අදුර මකමින් එළියක් විහිදෙනු දුටුවා. ඔහු ඒ ගැන විමසිලිමත් වුණා. ඔහු දුටුවේ පුදුම දසුනක්. කැකිරි ගෙඩියක් තරම් විශාල මැණිකක් නයා සිටි තැන තිබුණා. ඒ දැක බිය වුණු ගොවියා මේ පුවත දුටුගැමුණු රජුට සැල කර සිටියා. රජතුමා කැකිරි මැණික බැලීමට හේනට ආවා. මැණික දුටු රජු අප්‍රමාණ සතුටට පත් වුණා.

            රජතුමා මැණික තිබූ තැන වැවක් තැනුවා. එය නම් කළේ කැකිරාව වැව නමින්. එළාර සමග කළ සටනින් පසුව ස්වර්ණමාලී චෛත්‍යය ඉදිකොට කැකිරි මැණික එහි නිදන් කළා. කැකිරාව වැවට එම නම් ලැබුණේ එලෙසින් බවයි ජනප්‍රවාදයේ සදහන් වන්නේ.



හල්මිල්ල වැව



කලා වැවට ආසන්නව දක්ෂ බෙර වාදකයන් පිරිසක් ජීවත් වුණා. බෙර වාදනය ගැන ඔවුන් ප්‍රකටව සිටියා. පෙරහැරවලට ඔවුනට නිතරම ආරාධනා ලැබුණා. දිනක් එගම් වැසියෙක් බෙර වාදනයට පිටත්ව ගියා. ඒ යන අතර මගදී රජතුමා මුණ ගැසුනා. ඔහු පෙරහැරට ඉඩදී යටහත්ව පාරෙන් ඉවත් වුණා. රජුගේ පෙරහැරේ ගමන් කළ හේවායෙක් අසු පිටේ හිදිමින්ම බෙරයට පයින් ඇන්නා. බෙර වයන්නාට කේන්ති ගියා. ඔහු අහින පදයක් වැයුවා. ඒ බෙර වාදනය අහන් ඉන්න අයට ඉබේම නැටවෙනවා. ඒ සද්දෙ ඇහිලා රජතුමා එතැනට දුවගෙන ආවා. 

මෙතරම් ලස්සනට බෙර වයන්නේ කොහොමද කියලා කල්පනා කළා. බෙර වාදනයෙන් සතුටු වුණු රජතුමා රහසේම ඒ ගමට ගියා. ඒ අවස්ථාවේදී බෙර වාදකයෝ ගුරුන්නාන්සේ කෙනෙකු යටතේ හල්මිල්ල කැලයට වැදී බෙර වාදනය පුහුණු වෙමින් සිටියා. ඒ දුටු රජතුමා පිරිසට හල්මිල්ල යාය පවරා දුන්නා. ඔවුනට වැවකුත් හදා දුන්නා. ඔවුන් ඒ වැවේ දියවරින් ගොවිතැන් කළා. හල්මිල්ල යායේ එදා හැදූ වැව හල්මිල්ල වැව යනුවෙන් ප්‍රකට වුණා.



සොරබොර වැව



සොරබොර වැව දුටු ගැමුණු රජු විසින් ඉදි කෙරුණු තවත් වැවක්. දුටුගැමුණු රජු එලාර සමග සටන් සදහා පිටත්ව ගියා. ඒ යන අතරමගදී ඊශාන දිග වැස්සට හසු වුණා. මහවැලි ගඟ පිරී ඉතිරී ගලන්නට වුණා. මේ නිසා ගඟෙන් එතෙර වීමට නොහැකි වූවන් මහියංගනය අවට ලැගුම් ගත්තා. මහියංගනය චෛත්‍යය ගරා වැටී තිබෙන අයුරු ඔවුන් දුටුවා. දුටුගැමුණු රජතුමා චෛත්‍යය අලුත්වැඩියා කිරීමේ කටයුතු කළා. ඒ අවස්ථාවට විහාර මහා දේවියද සහභාගී වුණා.

දුටුගැමුණු රජුගේ මෙහෙකරුවන් අතර බුලත් සැපයීමට කෙනෙක් සිටියා. ඔහු බුලතා යෝධයාය. බුලත් මෙහෙවර කරන අතරතුර කඳු ගැට දෙකක් අතරින් ගලා බස්නා දොළ පහරක් දුටුවා. ඔහුට අපූරු අදහසක් පහළ වුණා.

බුලතා දොළ පහර හරස් කොට වැවක් තැනීමට පටන් ගත්තා. ඔහුගේ උදව්වට කිසිවෙකු සිටියේ නෑ. ඔහුගේ බිරිඳ පමණයි උදව්වට හිටියේ. ඇය හැදින්වූයේ යෝධී නමින්. ඇය ශක්තිමත් කාන්තාවක්. ඇය බුලතාට අවශ්‍ය ආහාර පාන දිනපතා ගෙන ආවා. ඇය ගමන්ගත් මාර්ගය ඉතාම දුෂ්කරයි. ගල්මුල්, කදුවැටි ආදියෙන් යුක්තයි.

දිනපතා බුලතාට ආහාර ගෙන එන අතරතුරදී දිනපතාට බුලතාට ආහාර ගෙන එන අතරතුරදී ඇය ගල් තබමින් මාර්ගයේ ගල් පඩිපෙළක් හදන්න පටන් ගත්තා. බුලතා වැවේ කටයුතු හමාර කරන විට ඇය පාර සාදා අවසන් කළා.

බුලතා යෝධයා අලුත් වැව රජතුමාට තෑගි කිරීමට කැමැත්තෙන් සිටියා. රජු පිරිවර සමඟ වැව බලන්නට පැමිණියා. නිල් දියවර පිරි වැව දුටු රජතුමා පුදුම වුණා. රජතුමා ‘හරබර’ වාරිකර්මාන්තය අන් අයටද ආදර්ශයක් බව පවසමින් බුලතා යෝධයාට ප්‍රශංසා කළා. එතෙක් වැවට නමක් තිබුණේ නෑ. රජතුමාගේ බස් ඇසූ අය වැවට හරබර වැව යැයි කියන්නට පටන් ගත්තා. පසුව එය සොරබොර වැව නමින් ප්‍රකට වුණා. බුලතා යෝධයාට හා බිරියට තෑගිත් ගම්වරත් ලැබුණා. එදා යෝධී ඉදිකළ මඟ අද දහ අට වංශුවයි.




ගෝණපතිරාව වැව

ධාතුසේන රජතුමාට මල් සැපයූ තැනැත්තා හැදින්වූයේ කඩඉම් රාල යනුවෙනි. ඔහුගේ ගම කඩඉම්ගල. ඔහු ගෙන එන මල් අතරේ ලස්සන රතු නෙළුම් මල් තිබුණා. එක යායට මල් පිපී ඇති මල් බලන්නට රජතුමාට ආසා හිතුණා. රජතුමා කාටත් රහසේ කඩඉම් රාලගේ ගමට ගියා. මල් පිපුණු වතුර පිරි වළ දුටුවා. ඒ වෙලාවේ වතුර වළෙන් වතුර බිබී උන් ගෝණා නාද කළා. නෙත දුටු සුන්දර දසුනත් කණ වැකුණු නාදයත් නිසා රජතුමා බොහෝ සේ ප්‍රීතියට පත් වුණා. රජතුමා ඒ ඉසව්වේ වැවක් තනන්නට කල්පනා කළා. ඒ කටයුත්ත කඩඉම් රාලට පැවරුවා. ඔහු ඒ රාජකාරිය අකුරටම ඉටු කළා. හැමදාම වැව අසල ගෝණුන් ප්‍රතිරාව නැංවූ නිසා වැවට ගෝණපතිරාව වැව නමින් කටවහර පුරුදු වුණා.




කනදරා වැව

කනදරා වැව මහසෙන් රජුගේ වාරි නිර්මාණයක්. රජතුමා කනදරා ඔය හරස් කොට බාණුවාපි නමින් වැවක් ඉදි කළා. බාණුවාපී වැවට ජනයා වැහැරුවේ කණා වැව යනුවෙනුයි. මහවැසි ඇද හැලුණා. මේ වැවේ හිටි කණයකු වැවේ සොරොව්වේ හිර වුණා. කණයා ඉවත් කරන්නට කිසිවකු හෝ ඉදිරිපත් වුණේ නෑ. ඒ නිසා රජු ඒ සදහා කෙනෙකු සොයා ගන්නට අණ බෙරයක් පිටත් කළා. අණ බෙරය කණ වැදුණු කදරා රාළ නම් තැනැත්තා ඒ කාරිය බාරගෙන රජවාසලට පැමිණියා. ඔහු නියමිත දිනයේදී කණයා අයින් කිරීමට සූදානම් වුණා. තමා වැවේ කිමිදී කණයා ඉවත් කළ පසු ගොඩට ගන්නැයි යහළුවෙකුට පැවැරුවා. කනදරා රාල වැවේ කිමිදුණා. කණයා කපා ඉවත් කළා. නමුත් යහළුවා ඔහු ඉහළට ගත්තේ නැහැ. සොරොව්වෙන් ගලා ආ දිය කඳට කනදරා රාල ගහගෙන ගියා. සියල්ල අවසානයේ තමා විසින් කණයා කපා ඉවත් කළ බව පවසමින් මිතුරා රජුගෙන් තෑගිබෝග හා ගම්වර ලබා ගත්තා. කනදරා රාළ ගසාගෙන ගිය වැව පසුකාලයක කනදරා වැව ලෙස ප්‍රකට වුණා.



ඌරු සිටා වැව

මහානාග රජුට මනරම් මඟුල් උයනක් තිබුණා. දිනක් ඌරු රංචුවක් පැමිණ මේ උයන විනාශ කළා. කෝපයට පත් රජු සේවකයින් යොදවා ඌරු රැලේ අයිතිකරු අල්ලා ගත්තා. ඔහු කැලේම සිටි කෙනෙක්. කිසිදාක මිනිසුන් හා ඇසුරක් නොතිබුණු කෙනෙක්. එනිසා ඔහුට කතා කරවන්නට පුරුදු කරන්නට රජතුමාට සිදුවුණා. ඒ සදහා බොහෝ කාලයක් ගත වුණා. මේ කාලය අතරතුරදී රජතුමාගේ කෝපයත් සන්සිදුණා.
මේ තැනැත්තාට කතා කිරීමට හැකිවූ පසු රජු ඔහුගෙන් තොරතුරු විමසා සිටියා. ඔහු කැලයේ වතුර රැස්වී ඇති තැනක් ගැන විස්තර කළා. මේ පුවත ඇසූ රජතුමා එතැන වැවක් ඉදිකොට ඒ වැව ඔහුට පරිත්‍යාග කළා. වැවේ දියවර උපකාරයෙන් වගා කළ ඔහු ටික කලකින් ධනවතකු බවට පත් වුණා. ඉන්පසුව මේ තැනැත්තා ඌරු සිටුවරයා ලෙස ප්‍රසිද්ධ වුණා. පසු කාලයකදී රජතුමා ඔහු හා උරණ වුණා. වැව විනාශ කරන්නට කටයුතු කළා. මේ නිසා දුකට පත් සිටුවරයාත් දේවියත් වැවට පැන දිවි නසා ගත්තා. එදා සිට මේ වැවට ඌරු සිටා වැව නමින් වහරන්නට වුණා.



රන්තිසා වැව

මහසෙන් රජු බලසම්පන්නයි. ඒ වගේම ජනතාවගේ ගෞරවාදරයට පත්වූ රජ කෙනෙක්. මේ රජතුමාට සොහොයුරියන් දෙදෙනෙක සිටියා. එක් අයෙක් බිසෝ මැණිකාය. අනෙක් සොහොයුරිය ටිකිරි මැණිකාය. ටිකිරි මැණිකා කුමරිය පත්තා නම් වැදි නායකයා සමග විවාහ වී සීගිරිය ආසන්නයේ පදිංචි වුණා. ගම්වැසියන් ඇයට බොහෝ සේ ගෞරව කළා. ඒ ඇයගේ පුත් හිඟුරක්ගොඩ බණ්ඩාර මින්නේරිය වැව රැක ගැනීමට ජීවිතය පරිත්‍යාග කළ නිසා. බිසෝ මැණිකා කුමරිය ජනයා සමඟ එක්‍රැස්ව කවුඩුල්ල ප්‍රදේශයේ වැවක් ඉදි කරන්නට පටන් ගත්තා. ඒ එයට රන්තිසා වැව යැයි නම් කළා.

සිය සොහොයුරා වූ මහසෙන් රජු ඉදි කළ මින්නේරිය වැවට වඩා කවුඩුල්ල වැව ප්‍රමාණයෙන් විශාල වුණා. ඉන් ආඩම්බරයට පත් ඇය අයියා මින්නේරිය කියලා නැඹිලියක් හැදෙව්වා. මම ඒ නෑඹිලිය දාන්න පුළුවන් කොරහක් හැදෙව්වා. ඇය උඩගුවෙන් කියා සිටියා. මේ පුවත රජතුමාට සැලවුණා. ඉන් කෝපයට පත් රජතුමා රන්තිසා වැව කඩා දැමීමට කටයුතු කළා. ඒ සදහා මිත්‍ර යක්ෂ පිරිසකගේ සහය ලබා ගත්තා. යක්ෂයන් මුවන්ගේ වේෂය ගෙන වැවේ වෑකන්ද විනාශ කළා. ඒ අවස්ථාව බිසෝමැණිකා කුමරියට සිහිනෙන් පෙනුණා. ඇය අවදිවී කෑ ගසාගෙන වැව් ඉස්මත්තට දිව්වා. සිදුවී ඇති හානිය දැක වාවාගත නොහැකි තැන ඇය වැවට පැන දිවි නසා ගත්තා. මේ පුවත ඇසූ රජතුමාට සොහොයුරිය ගැන දුක හිතුණා. දුරදිග නොබලා කළ දේ ගැන පසුතැවිලි වුණා. වරද නිවැරදි කරගැනීමට සිතූ රජතුමා මින්නේරිය වැවේ සිට සැතපුම් 6ක් පමණ දිග ඇළක් කප්පවා රන්තිසා වැව ඊට සම්බන්ධ කළා. සොයුරිය දේවතාවක්ව ඉපිද ඇතැයි විශ්වාස කළ මහසෙන් රජතුමා ඇය වෙනුවෙන් බිසෝ බණ්ඩාර දේවාලය ඉදි කළා. ඒ රන්තිසා වැව අද හදුන්වන්නේ කවුඩුල්ල වැව නමින්.


(උපුටා ගැනීම විජය පුවත්පත - 2016 අගෝස්තු)