Saturday, 26 November 2016

ආර්ථික විද්‍යාව ඉගෙනීමට පිවිසෙමු




ආර්ථික විද්‍යාව යනු වර්තමානයේ ඉතාම වැදගත්වන විෂය ක්ෂේත්‍රයකි. අ.පො.ස උසස් පෙළ වානිජ,කලා සිසුන් මෙන්ම කෘෂි විද්‍යාව හදාරන සිසුන්ද මෙම විෂය ධාරාව හදාරති. එමෙන්ම විශ්ව විද්‍යාලවල කෘෂි හා අනෙකුත් උපාධි හදාරන්නන්ද මෙම ආර්ථික විද්‍යා විෂය ධාරාව අනිවාර්‍යය විෂයක් ලෙස හදාරනු ලබයි. එබැවින් ඒ සියලු දෙනා උදෙසා පාඩම් මාලාවක් ගෙන ඒමට අප තීරණය කළෙමු. මේ ලිපිය තුළින් අද අපි බලාපොරොත්තු වන්නේ මූලික පිවිසීමක් ලබා ගැනීමටය.


ආර්ථික විද්‍යාව

"ආර්ථික විද්‍යාව යනු සීමිත සම්පත් වලින් අසීමිත අවශ්‍යතාවන් තෘප්තිමත් කිරීම පිළිබඳව සිදුකරන්නා වූ විද්‍යාත්මක හැදෑරීමයි."



මේ යටතේ ප්‍රධාන සංකල්ප දෙකකි. එනම් සම්පත් හා අවශ්‍යතා ලෙසය.


සම්පත් (Resources)

මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කිරීමට යොදා ගන්නා විවිධ පදාර්ථ හා ශක්ති ප්‍රභේද සම්පත් ලෙස හැදින්විය හැකිය. මේවායේ මූලිකම ලක්ෂණය හිග බවයි.

හිඟ බව යන්න සමාජයේ වාසය කරන ඕනෑම කෙනෙකුට තමා කැමති ඕනෑම අවස්ථාවක, කැමති ඕනෑම සම්පතක් ඕනෑම ප්‍රමාණයකින් ලබා ගැනීමට ඇති නොහැකියාව ලෙස අර්ථ දැක්විය හැකිය.


මෙයට බලපාන්නා වූ හේතු කිහිපයකි.
·         ස්වභාදහම මගින් ලබා දී ඇති සම්පත් ප්‍රමාණය එසේ පාරිභෝජනය කිරීමට නොසෑහීම
·         යම් සම්පතක් කිසියම් නිෂ්පාදන ක්‍රියාවකට යෙදවූ විට එය තවත් ක්‍රියාවකට යෙදවීමට අවස්ථාව නැති වීම
·         අවශ්‍යතා විශාල ලෙස වර්ධනය වූවද සම්පත් එසේ නොවීම




අවශ්‍යතා (Needs/Wants)

යම් පුද්ගලයකුගේ හෝ පුද්ගල කණ්ඩායමකගේ දැනට තිබෙන තත්වයත් තිබෙන යුතු යැයි ඔවුන් සිතන තත්වයත් අතර පරතරයයි.
මේවායේ මූලිකම ලක්ෂණය ඒවා අසීමිත වීමයි.



නිෂ්පාදන සාධක

නිෂ්පාදන ක්‍රියාවලියේදී භාණ්ඩ හෝ සේවා නිපදවීමට යොදා ගන්නා සියලුම පදාර්ථ හා ශක්ති ප්‍රභේද නිෂ්පාදන සාධක වේ.

මේවායේ ප්‍රධාන ආකාර 4කි.
1.      භූමිය
2.      ශ්‍රමය
3.      ප්‍රාග්ධනය
4.      ව්‍යවසාය

තවද මේ නිෂ්පාදන සාධක පුළුල් වශයෙන් කාණ්ඩ 2කි.



·         ගලායන සම්පත්

කිසියම් අවස්ථාවක භාවිතයට නොගතහොත් පසුව ගබඩා කර භාවිතයට ගත නොහැකි සම්පත් ය.
ශ්‍රමය ව්‍යවසාය හා භූමියෙන් කොටසක් ආදිය මීට උදාහරණ ලෙස දැක්විය හැකිය.



·         ගබඩා කළ හැකි සම්පත්

යම් අවස්ථාවක භාවිතා නොකරයි නම් ගබඩා කර තබා පසුව භාවිතා කල හැකි සම්පත්ය .
ප්‍රාග්ධනය මීට හොද උදාහරණයකි.



අප මීලග ලිපිය තුළින් ඉහත සදහන් කළ ප්‍රධාන නිෂ්පාදන සාධක පිළිබඳව වෙන වෙනම් තොරතුරු ගෙන ඒමට සූදානම්. ඔබට ජය!මෙම ලිපිය ඔබගේ යහලුවන්ටත් කියවීමට හැකි තරම් Facebook,Twitter,Linkedin,Google Plus තුළට Share කරන්න
ඔබ අපගේ බ්ලොගට කැමතිනම් බ්ලොගය Follow කිරීමටද අමතක නොකරන්න