Friday 9 December 2016

කැටායන හුවමාරු ධාරිතාවය බෝග වගාවට බලපාන්නේ කෙසේද?

 මීට පෙර අප ලියූ ලිපියේදී පාංශු රසායනික ලක්ෂණ පිළිබඳව හැදින්වීමක් කළා ඔබට මතක ඇති. එහිදී බෝග වගාවට වැදගත්වන රසායනික ලක්ෂණ වලින් කැටායන හුවමාරු ධාරිතාවය පිළිබඳව ඔබ දැනුවත් කළ අතර මේ ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ එකී කැටායන හුවමාරු ධාරිතාවය(Cation Exchange Capacity) පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

පාංශු කලිලවලට අධිශෝෂණය වී ඇති කැටායන, පාංශු ද්‍රාවණයේ ඇති කැටායන සමඟ හුවමාරු වීමේ ක්‍රියාවලිය කැටායන හුවමාරුව ලෙස හදුන්වනු ලබනවා. මෙලෙස පසක අයන හුවමාරු වීමේ හැකියාව එම පසෙහි කැටායන හුවමාරු ධාරිතාවය ලෙස හදුන්වනු ලබනවා.


කැටායන හුවමාරු ධාරිතාවය මනින ඒකක දෙකකි
·         පස් ග්‍රෑම් 100කට මිලි සමක
·         පස් කිලෝග්‍රෑමයට සෙන්ටිමෝල්


පසක කැටායන හුවමාරු ධාරිතාවය අධ්‍යනය කිරීමේදී පාංශු කලිල පිළිබඳව දැන සිටීම ඉතා වැදගත් වේ. කලිල යනු විෂ්කම්භය මිලිමීටර 0.002ට වඩා අඩු ඉතා කුඩා අංශුය. පසෙහි කලිල වර්ග දෙකක් අඩංගු වේ. එනම් මැටි කලිල හා කාබනික ද්‍රව්‍ය කලිල(හියුමස්) වේ. විශාලනයේදී මැටි කලිල අංශුවක් ෂඩාස්‍රාකාර පැතලි හැඩයකින්ද හියුමස් කලිලයක් අක්‍රමවත් හැඩයකින්ද යුක්තය.

මැටි කලිලවල බාහිර පෘෂ්ඨයේ ධන හා ඍණ ආරෝපණ අඩංගු අතර ඉන් වැඩි ප්‍රමාණයක් ඍණ ආරෝපිත වේ. හියුමස් කලිල සම්පූර්ණයෙන්ම ඍණ ආරෝපිත වේ. මැටි කලිල හා සංසන්දනයේදී හියුමස් කලිල ඉතා අධික ඍණ ආරෝපණ ප්‍රමාණයක් දරයි.

පාංශු ද්‍රාවණයේ අඩංගු ධන ආරෝපිත කැටායන(H+ , Mg2+, Na+, K+ ) පාංශු කලිලවල ඍණ ආරෝපණ වෙතටද ඍණ ආරෝපිත NO3-, SO42- වැනි අයන පාංශු කලිලයේ ධන ආරෝපණ වෙතටද ආකර්ෂණය වී පවතී. මෙම ක්‍රියාවලිය අයන අධිශෝෂණය ලෙස හැදින්වේ.




කලිලවලට අධිශෝෂණය වී ඇති අයන ශාකවලට අවශෝෂණය කරගත නොහැකි වන අතර ශාකවලට අවශෝෂණය කරගත හැක්කේ පාංශු ද්‍රාවණයේ ඇති අයන පමණි. මේ අනුව පසේ අඩංගු අයන සේදී යා නොදී රැක ගනිමින් අවශ්‍ය විටෙක පාංශු ද්‍රාවණයට අයන මුදා හැරීම සදහා පාංශු කලිල උපකාර වේ. කැටායන හුවමාරු ධාරිතාවය වැඩි පසක් සාරවත් පසක් ලෙස හැදින්වේ.




කැටායන හුවමාරු ධාරිතාවයේ වැදගත්කම

·         පොහොර ලෙස පසට යොදන පෝෂක රදවා තබා ගනියි.
·         අවශ්‍ය විටෙක පාංශු ද්‍රාවණයට අයන මුදා හරියි
·         පස සාරවත් වීම සිදුවේ



දැන් ඔබට කැටායන හුවමාරු ධාරිතාවය හා එහි වැදගත්කම පිළිබඳව යම් තරමක දැනීමක් ලැබෙන්නට ඇතැයි විශ්වාස කරමු. මෙම ලිපිය කියවා ඔබ ලබාගත් දැනුම ඔබගේ අනෙකුත් මිතුරන්ටත් කියවීමට හැකි තරම් සමාජ ජාලාවලට බෙදා ගන්න

මෙම බ්ලොගයට නැවත පැමිණීමට ඔබගේ Web Browser එක තුළ Bookmark කර ගැනීමටද අමතක නොකරන්න