Saturday 17 December 2016

බෝග වගාවේදී පාංශු වාතයේ ඇති වැදගත්කම අධ්‍යනය කරමු

මීට පෙර අප ලියූ පාංශු සංඝටක හා ඒවායේ බලපෑම අධ්‍යනය කරමු ලිපියේදී ප්‍රධාන පාංශු ඛාණ්ඩයක් වන ඝන ද්‍රව්‍යවල පාංශු ඛනිජ හා පාංශු කාබනික ද්‍රව්‍ය පිළිබඳව සාකච්ඡා කළා ඔබට මතක ඇති. මේ ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ පාංශු සංඝටකවල තවත් වැදගත් කොටසක් වන පාංශු වාතය පිළිබඳව අධ්‍යනය කිරීමටයි.


පසක පස් අංශු අතර ඇති අවකාශ පාංශු ජිද්‍ර ලෙස හදුන්වන අතර පාංශු ජිද්‍ර තුළ රැදී පවතින වාතය පාංශු වාතයයි. පස් අංශු අතර ඇති ඉතා සියුම් අවකාශ ක්ෂුද්‍ර අවකාශ නම් වන අතර සාපේක්ෂව වඩා විශාල අවකාශ මහා අවකාශ නම් වේ. රළු පසක මහා අවකාශ වැඩි අතර සියුම් පසක ක්ෂුද්‍ර අවකාශ වැඩිය

පසක පවතින ජල ප්‍රමාණය අනුවද පාංශු ජිද්‍රවල රැඳෙන වාතයේ ප්‍රමාණය අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වේ. පසකට ජලය ලැබෙන විට පාංශු ජිද්‍රවල ඇති ජලය ඉවත් වී එම ඉඩකඩ ජලය මගින් ලබා ගනියි.
පාංශු වාතයේ සංයුතිය වායුගෝලයේ සංයුතියට වඩා වෙනස්ය. වායුගෝලයේ සංයුතිය හා සැසදීමේදී පාංශු වාතයේ CO2 ප්‍රමාණය සාපේක්ෂව වැඩි අතර O2 ප්‍රමාණය සාපේක්ෂව අඩුය. ශාක මුල් ඇතුළු පාංශු ජීවීන් ශ්වසනයේදී O2 ලබා ගැනීමත්, CO2 පිට කිරීමත් පාංශු වාතය පහසුවෙන් සංසරණය නොවීමත්, ඉහත කී වෙනසට හේතු ලෙස දැක්විය හැකිය


පාංශු වාතයේ වැදගත්කම

·         බීජ ප්‍රරෝහනයට හා ශාක මූල මණ්ඩලවල ශ්වසනයට පාංශු වාතයේ ඇති O2 වාතය අවශ්‍ය වේ.

·         සියලුම පාංශු ජීවීන්ගේ ශ්වසනයට පාංශු වාතය අත්‍යවශ්‍ය වේ

·         කාබනික ද්‍රව්‍ය වියෝජනය සදහා උපකාරී වේ

·         පාංශු ජනනය සදහා උපකාරී වේ


අප මීලඟ ලිපිය තුළින් පාංශු සංඝටකවල තවත් වැදගත් කොටසක් වන පාංශු ජලය පිළිබඳව අධ්‍යනය කිරීමට නියමිතයි. එතෙක් අපගේ අනෙකුත් ලිපිත් කියවා රසවිදින්න