Tuesday 3 October 2017

ලෝකය වටා මුහුදු චාරිකාවක් ගිය ප්‍රථම නැවියා: ෆර්නැන්ඩි මැගලන්



ලෝකය වටා මුහුදු චාරිකාවක් ගිය ප්‍රථම නැවියා ලෙස ඉතිහාසයට එක්වූයේ දේශ ගවේෂකයෙක් වූ ෆර්නැන්ඩි මැගලන්ය. ඔහු පෘතුගීසි ජාතික වංශවතෙක් විය. ක්‍රි.1480දී ඔහු උපන්නේය.
කොළොම්බස්ගේ මුහුදු චාරිකාවලින් පසුවද, බටහිරට යාත්‍රා කොට ඉන්දියාවට පිවිසීමට පුලුවන්ය යන මතයෙහිම සිටි ස්පාඤ්ඤ රජතුමා ෆර්නැන්ඩි ඇතුළු පිරිසක් එම කාර්‍ය සදහා යෙදවීය. මැගලන් මුලදී රජතුමා වෙත සේවයේ යෙදී සිට වරෙක නාවිකයෙකු හැටියට ඉන්දියාවට හා තවත් පෙරදිග රටවලට පැමිණීමෙන් ලබන ලද පලපුරුදුකම් ඇතිව සිටියේය.
ක්‍රි.1519 සැප්තැම්බර් 20 වන දින නාවිකයන් 2701 දෙනෙක් සමග නැව් 51කින් මැගලන් සිය ලෝක චාරිකාව ආරම්භ කළේය. ඔහු අත්ලන්තික් සාගරය හරහා දකුණු ඇමරිකාව දෙසට යාත්‍රා කළේය. මේ අවදිය වන විට දකුණු ඇමරිකාවේ දකුණේම පිහිටි තුඩුවක් දක්වා යාත්‍රා කිරීමට කිසිම නැවියෙකු දැන නොසිටි අතර එයින් ඔබ්බට යාත්‍රා කළ හැකි බවත් කිසිවෙක් නොදත්හ. ගමනේ පරතෙරක් නොදුටු නාවිකයෝ තවත් ඔබ්බට යාත්‍රා කිරීම ප්‍රතික්ෂේප කොට කැරළි ගැසූහ.
එක් නැවක් මැඩ පැවැත්වූ මැගලන් ධෛර්යය සම්පන්නව තව තවත් ඉදිරියට යාත්‍රා කොට, දකුණු ඇමරිකාවේ දකුණේම පිහිටි පෙදෙසේ උස් කුලුණු මුහුදුවලින් ගහණ (මෙකල මැගලන් සමුද්‍ර සංධිය) කපොල්ලෙන් ඔබ්බට යාත්‍රා කොට මහත් සාගරයට පිවිසියේය. එය පැසිපික් සාගරයයි.

ඉන්පසු තව තවත් වයඹ දෙසට යාත්‍රා කළ මැගලන් පිලිපීන් දූපත් වෙත ලඟාවිය. එහිදී ඔහු ස්වදේශිකයන් සමග කළ සටනින් මිය ගියේය. ඔහුගේ මරණින් පසුව ඩෙල්කානෝ නම් නාවිකයා කණ්ඩායමේ නායකත්වය ගෙන ඉදිරියට යාත්‍රා කළේය. මේ වනවිට ඔවුන්ට ඉතිරිව තිබුණේ නැව් 2ක් වූවද, එයින් එකක් බරපතල ලෙස අබලන් වූයෙන් මොලුක්කාස් දිවයින් අසලදී මුහුදුබත් කිරීමට සිදුවිය. ඉතිරි නැවෙන් ගමනේ යෙදුනු පිරිස් ඉන්දියන් සාගරය තරණය කොට සුභපැතීමේ තුඩුව වටා ගොස් අත්ලන්තික් සාගරයට පිවිස අප්‍රිකාවේ බටහිර වෙරළ ඔස්සේ ස්පාඤ්ඤයට ආපසු පැමිණියහ.
(මේ ලිපිය සැකසුනේ කේ.ආර්.ආරියසිංහ මහතාගේ “ලොවේ ශ්‍රේෂ්ඨයෝ” කෘතිය පාදක කරගෙනය)