Sunday 7 February 2016

මානව පරිණාමය හා ශිෂ්ටාචාරයේ උදාව ගැන දැන ගනිමු

ඉතින් ඔන්න යාලුවනේ අපි ගෙනාවා අදත් බොහොම වැදගත් ඉතිහාසය පාඩමක්. හැබැයි මේක ඉතිහාසයට විතරක් නෙමේ ඔයාලගෙ දැනුම හා රසවින්දනයටත් මේ ලිපිය ගොඩක් වටීවි කියලා මම හිතනවා. මානව පරිණාමය හා ශිෂ්ටාචාරයේ උදාව කොහොමද උනේ කියල තමා මේ ලිපියෙන් මම කියල දෙන්න යන්නෙ. හරිම ආකර්ෂණීය ලිපියක් වේව් කියල මම හිතනවා මෙක.

පෘථිවියේ උපත හා මිනිසාගේ පරිණාමය

භූ විද්‍යාඥයන් උපකල්පනය කරන ආකාරයට අනුව අදින් වසර දශලක්ෂ 4600 කට පමණ පෙර පෘථිවියේ උපත සිදු විය. නමුත් පෘථිවිය මත මිනිසාගේ පරිණාමය සිදු වූයේ එයිනුත් වසර 4570 කට පසුවය. ඒ අතර තුර කාලය තුල පෘථිවිය මතුපිට ජලය ඇතිවීම, ශාක වර්ග ඇතිවීම හා පැතිරීම, මහද්වීප බිහිවීම ආදී ලෙස පෘථිවිය මිනිස් වාසයට සුදුසු තත්වයට පත්වීමේ ක්‍රියාවලිය සිදු විය.

            අදින් වසර දශලක්ෂ තිහකට පෙර බිහිවූවා යැයි සැලකෙන මිනිසා, අවධි කිහිපයක් පසු කිරීමෙන් පසුව තමා අද සිටිනා තත්වය දක්වා ගමන් කළේ. අපි දැන් බලමු ඒ පසුකරපු අවධි මොනවාද කියලා.


1.      හෝමෝ හැබිලස් මානවයා



දැනට වසර විසි ලක්ෂයකට පමණ පෙර විසූ ඉතාමත් නොදියුණු මිනිස් කොට්ඨාශයක් විදියට තමා මේ මානවයා සැලකෙන්නේ. මොවුන්ට දියුණු මොළයක් තිබුණේ නැහැ. කුඩා සතුන් අමුවෙන් හා අල වර්ග ආදිය අනුභව කලා. ගින්දර පිලිබද දැන සිටියා කියලා නම් සාක්ෂි කිසිවක් හමුවන්නේ නැහැ.


2.      හෝමෝ ඉරෙක්ටස් මානවයා




දැනට වසර විසි ලක්ෂයේ සිට දශලක්ෂය දක්වා කාලය තුල තමයි මේ මානවයා ජීවත් වෙලා තියෙන්නේ. හෝමෝ හැබිලස් මානවයාට වඩා තරමක් දියුණු මොළයක් මොවුන්ට තිබුණු බවට සාක්ෂි ලැබිලා තියෙනවා. මොවුන් ගල් හා ඇටකටුවලින් සාදාගත් ආයුධ වගේම ගින්දරත් භාවිතා කළා කියලා දැන් අනාවරණය වෙලා තියෙනවා. අප්‍රිකාව, අග්නිදිග ආසියාව, චීනය වගේම යුරෝපයේත් මොවුන් ජීවත් වෙලා තිබෙනවා.



3.      හෝමෝ සේපියන් නියැන්ඩර්තාල් මානවයා



මීට වසර 35000 ත් ලක්ෂයත් අතර ඈත කාලයේ මෙම මානවයා ජීවත් වුනා. තරමක් ඔපමට්ටම්කල ගල් මෙවලම්, සත්ව හම්වලින් සාදාගත් වස්ත්‍ර හා ගින්දර මොවුන් භාවිතා කර තිබෙනවා. වාසය සදහා ගල් ගුහා හා ගස් බෙණ යොදා ගත් මොවුන් ආහාර පුළුස්සා අනුභව කර තිබෙනවා. එමගින් ආහාරවලට නව රසයක් වගේම අලුත් ප්‍රෝටීන් වර්ගත් ශරීරයට ලැබී තිබෙනවා. එය ඔවුන්ගේ මොළය දියුණු වීමට තදින්ම බලපා තිබෙනවා. සතුන් වගේම අල වර්ග ආදියත් මොවුන්ගේ ආහාර අතර වුණා. සමාජ හා ආගමික චාරිත්‍ර අනුගමනය කළ මොවුන් මළවුන් සමග ඔවුන් භාවිතා කළ ආභරණ හා උපකරණද වල දමා ඇති බව ලැබූ සාක්ෂි පෙන්නුම් කරනවා. එමගින් පෙන්නුම් කරන්නේ ඔවුන් මරණින් මතු ජීවිතයක් පිළිබද විශ්වාස කළ බවයි. තමා ජීවත්වූ ගල් ගුහා වල සතුන්ගේ රූප සටහන් ඇදීමෙන් අලංකාර කරන්නටත් මොවුන් අමතක කර නැහැ. බටහිර යුරෝපය, තුර්කිය, ඉරානය වගේම අප්‍රිකාව යන මහද්වීප වලිනුත් මේ මිනිස් වර්ගයා ගැන තොරතුරු ලැබිලා තියෙනවා.


4.      හෝමෝ සේපියන් මානවයා



දියුණු මොළයක් ඇති යන්න තේරුම ලබා දීම සදහා මානව විද්‍යාඥයින් ‘හෝමෝ සේපියන්’ යන්න පාවිච්චි කරනවා. මොවුන් වසර 15000 ත් 37000 ත් අතර කාලය තුල ජීවත් වුණා. යුරෝපයේ, අප්‍රිකාවේ හා ආසියාවේ තමයි මේ මානවයා ව්‍යාප්ත වෙලා තිබුණෙ. අපේ රටේ බලංගොඩ මානවයාත් අයිති වුණේ මේ මානව කොට්ඨාශයට තමයි. මේ මානවයා භාවිතා කළ මෙවලම් මීට පෙර මිනිසුන් භාවිතා කළ ඒවාට වඩා ඉතාමත් තියුණු බවින් හා ඔපමට්ටමින් යුක්ත වුනා. මොවුන් ඉතාමත් අලංකාර චිත්‍ර ඇද ඇති අතර ඒවා ප්‍රංශයේ ලැස්කෝ ගුහාව, ස්පාඤඤයේ ඇල්ටමීරා ගුහාව, ඉන්දියාවේ සිංහපූර්හි ජෝගිමාරා ගුහා ආදී තැන් වලින් හමු වනවා. ගින්දර භාවිතා කළ මොවුන් මස් පුළුස්සා ආහාරයට ගෙන ඇත. විවිධ ඇදහිලි හා චාරිත්‍ර ක්‍රමද මොවුන් අතර පැවතුණු බවට සාක්ෂි ලැබිලා තියෙනවා.



කල්යාමේදී හෝමෝ සේපියන් මානවයා ලොව පුරා පැතිර ගොස් ශිෂ්ටාචාරය ගොඩ නගා ගත් ආකාරය පෙනී යයි. එසේ ව්‍යාප්ත වූ ප්‍රදේශවල දේශගුණය ආදී පාරිසරික සාධක වල බලපෑම් හින්දා ශරීරයේ බාහිර ලක්ෂණ වල වෙනස්කම් ඇති වුනා. ශරීරයේ උස ප්‍රමාණය, සමේ පාට, හිසකෙස්වල ස්වභාවය හා වර්ණය, නාසයේ හා තොල්වල හැඩය ආදී වශයෙන් මෙම වෙනස්කම් දකින්න පුලුවන්.

            මේ දැක්වූ වෙනස්කම් හේතුකොටගෙන නූතන මානව විද්‍යාඥයන් මුළු මිනිස් සංහතියම ප්‍රධාන කොටස් තුනකටත් නැවත ඒවා උප කොටස් කිහිපයකටත් බෙදා දක්වනු ලැබුවා.


·         නිග්‍රොයිඩ් වර්ගය



අප්‍රිකානු නිග්‍රෝ මිනිසා මේ වර්ගයට අයත් වනවා. රැළි ගැසුණු ඝන හිසකෙස්, පැතලි විශාල නාසය, ඝන තොල්, කළු දුඹුරු හෝ තද කළු සම යන ඒවා මේ වර්ගයේ ප්‍රධාන ශරීර ලක්ෂණ විදියට දක්වන්න පුලුවන්.


·         කෝකසයිඩ් වර්ගය




මධ්‍යම ඇමරිකානු රටවල මුලින් ජීවත් වූ මෙම මිනිසා පසුව ඒ අවට රටවලටත් ව්‍යාප්ත වූවා. රෝස පැහැති හෝ තලෙළු පැහැති සම, රන්වන් හෝ කළු පැහැති හිසකෙස්, ඉදිරියට මදක් නෙරා ඇති පුලුල් නලල් තලය, උස් නාසය හා ශක්තිමත් උස ශරීරය යන මේවා ප්‍රධාන ශරීර ලක්ෂණ විදියට දක්වන්න පුලුවන්. සියලු ආර්‍ය ජන කොටස් මේ වර්ගයට අයත් බව පිළිගනු ලබනවා.


·         මොන්ගොලොයිඩ් වර්ගය



ඈත පෙරදිග රටවල්වල මෙම ජන වර්ගය වාසය කරනවා. කහ පැහැති සම, ඍජුව පහළට වැටෙන හිසකෙස්, පැතළි මුහුණ, රැළි සහිත ඇසිපිය හා මිටි සිරුරු මොවුන්ගේ ප්‍රධාන ශරීර ලක්ෂණ විදියට දක්වන්න පුලුවන්.


වර්තමානය වන විට මේ සියලු ජන වර්ග බොහෝ සෙයින් මිශ්‍ර වී තිබෙනවා. කෙසේ වෙතත් යුරෝපය, අප්‍රිකාව, චීනය වැනි රටවලදී මෙම ජනකොටස් පැහැදිලිව වෙන වෙනම හදුනා ගන්නට පුලුවන්.



පරිණාම වාදය අනුව මෙලොව ජීවත්වන සියලුම මිනිසුන් එකම මූලයකින් ප්‍රභවය වී ඇති බැවින් මුලු මිනිස් සංහතියම එකම කණඩායමකට අයත් වන බව ඔබට පැහැදිලි වනවා ඇති. විවිධ දේශගුණික හා පාරිසරික බලපෑම් නිසා ශරීර ලක්ෂණ, ආහාර පාන හා සංස්කෘතික අංගවල වෙනස්කම් දකින්න පුලුවන් වුනත් ශරීරයේ අභ්‍යන්තර ව්යූහය නම් එක සමානයි. හැම දෙනා තුලම ගමන් කරන්නේ එකම රතු රුධිරයයි. ඒ වාගේම හැඩය, ප්‍රමාණය, පැහැය වෙනස් වුනත් බාහිර අවයවයන් එකම අයුරකින් පිහිටා තිබෙනවා. ඒ නිසා භාෂාව, ආගම, සංස්කෘතිය මත පදනම් වෙලා භේදබින්න වීම මිනිසා මිනිසත්කමටම කරගන්නා මුලාවකි.