Friday 12 February 2016

E-Commerce හෙවත් ඉලෙක්ට්‍රොනික වානිජ්‍යය කියන්නේ මොකක්ද?



E-Commerce එහෙමත් නැතිනම් ඉලෙක්ට්‍රොනික වානිජ්‍යය කියන්නෙ අන්තර්ජාලය හා සම්බන්ධ දෙයක් යාලුවනේ, ඉතින් මේ පාඩම ICT විෂයට වගේම Commerce විෂය ධාරාවටත් අදාලයි කියලා මම හිතනවා. ලංකාව වගේ රටකට නම් මේ E-Commerce කියන දේ එතරම් හුරු පුරුදු නැති දෙයක්. ඒ වුනාට මේක ඇමරිකාව, එංගලන්තය වගේ රටවල නම් වෙනමම අධ්‍යනය කරන විෂයක් බවටත් අද පත් වෙලා තියෙනවා. මොකද ඒ රටවල ආර්ථිකයට මේ E-Commerce  කියන දේ ගොඩක් ලොකුවට බලපාලා තියෙන නිසා. කොහොම වුනත් ලංකාවටත් අනාගතයේදී මේ E-Commerce කියන දේ ඉතාම වැදගත් එකක් වේවි කියලා මම හිතනවා. එහෙනම් අපි මේ ගැන අධ්‍යනය කරන්නට යොමුවෙමුකෝ…..



            අන්තර්ජාලය හරහා වෙළෙන්දන් හා පාරිභෝගිකයන් අතර භාණ්ඩ හා සේවාවන් හුවමාරුව හා ඊට අදාල ගණුදෙනු පියවීම තමයි ඉලෙක්ට්‍රොනික වානිජ්‍යය සංකල්පයේ පදනම වන්නේ, මෙය අද වන විට අන්තර්ජාලය තුළ ඉතා වැදගත් ක්‍රමවේදයක් බවට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් ලොව පුරා සිටින පුද්ගලයන්ට ඉතා ඉක්මනින් හා පහසුවෙන් තම භාණ්ඩ හා සේවාවන් දවසේ පැය විසිහතර පුරාම හුවමාරු කර ගැනීමට අවස්ථාව උදා වී තිබෙනවා. මේ ක්‍රියාවලියේදී පාර්ශවකරුවන් හතරක් දකින්නට පුලුවන්,

1.      වෙළෙන්දා (Merchant)
2.      මාර්ගගත ගණුදෙනුකරු (Online Consumer)
3.      වෙළෙන්දාගේ බැංකුව (Merchant’s Bank)
4.      ගණුදෙනුකරුගේ බැංකුව හෙවත් ණය පත් සමාගම (Consumer’s Bank or Credit Card Company)


මෙහිදී වෙළෙන්දා විසින් තමා අලෙවි කිරීමට යන භාණ්ඩ හා සේවාවන් පිළිබදව සියලුම විස්තර ඇතුලත් මාර්ගගත වෙළෙදසැලක් හෙවත් Online Shop එකක් වෙබ් අඩවියක් තුල පවත්වාගෙන යනු ලබනවා. එහිදී තමන් විකිණීමට යන භාණ්ඩ හා සේවාවල තත්වය , ගුණ ත්වය, මිල පිලිබදව වගේම ඒවායේ ඡායාරූප හා වීඩියෝ ආදියත් වෙළෙන්දන් විසින් ඊට ඇතුලත් කරනු ලබනවා. මේ හේතුවෙන් පාරිභෝගිකයකුට තමා තෝරන භාණ්ඩ හා සේවාවන් පිළිබදව ඉතා හොද අවබෝධයක් වගේම බුද්ධිමත් තීරණයකටත් එලැබීමට හැකි වනවා.

            මෙහිදී පාරිභෝගිකයා මාර්ගගත වෙළදසැලට පිවිස එහි තිබෙන තොරතුරු විමසා බලා යමක් මිලදී ගැනීමට තීරණය කළ පසු ඊට අදාල මුදල ගෙවීම සදහා තම ණය කාඩ්පත හෙවත් Credit Card එක භාවිතා කරනු ලබයි. එහිදී තම ණය කාඩ්පතේ අංකය, වර්ගය, කල් ඉකුත්වන දිනය ආදිය ලබාදුන් පසුව එම තොරතුරු ණය කාඩ්පත් සමාගමේ සර්වරය වෙත යොමු කරනු ලබනවා. එම ලබාදුන් තොරතුරු නිවැරදි නම් හා අදාල ගණුදෙනුව පියවීමට තරම් ප්‍රමාණවත් ණය සීමාවක් ගණුදෙනුකරුගේ ණය කාඩ්පත සතුවනවා නම් පමණක් එම මුදල ණය කාඩ්පත් සමාගම විසින් වෙළෙන්දාගේ බැංකුවේ ඇති වෙළෙන්දාගේ ගිණුමට බැර කරනු ලබයි. වෙළෙන්දාගේ බැංකුව විසින් අදාල මුදල ලැබුණු බව වෙළෙන්දා වෙත තහවුරු කිරීමෙන් පසුව අදාල භාණ්ඩය පාරිභෝගිකයා වෙත යැවීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදුවෙනවා.

මෙහිදී E-Commerce වලද වාසි මෙන්ම අවාසිත් ගොඩාක් තිබෙනවා. ඒ ගැන දැනගන්න එකත් ගොඩාක් වටින දෙයක්.


E-Commerce වල වාසි -

·         ඉතා ඉක්මනින් භාණ්ඩ හා සේවාවන් අලෙවි කර ගැනීමටත් මිලට ගැනීමටත් හැකි වනවා
·         වෙළෙන්දාගේ මෙන්ම පාරිභෝගිකයාගේත් කාලය ඉතිරි වනවා
·         වේලාවක් රහිතව දවසේ පැය 24 පුරාම වූවද ගනුදෙණු කල හැකිවනවා
·         වෙළෙන්දා හා පාරිභෝගිකයා අතර මුණ ගැසීමක් සිදුවීම අනවශ්‍ය වනවා
·         ලෝකයේ ඕනෑම රටක පුද්ගලයකුට ගණුදෙනු කළ හැකි වනවා
·         කිසියම් පාරිභෝගිකයකුට ලොව ඕනෑම රටක අලුත් නිෂ්පාදනයක් වූවත් රටට ආනයනය කිරීමට පෙර ලබාගත හැකි වනවා

E-Commerce වල අවාසි -

·         පාරිභෝගිකයන් විව්ධ වංචාවලට මුහුණ දීමට ඇති හැකියාව ඉහල මට්ටමක පවතිනවා
·         අන් අයගේ ණය පත් හෙවත් Credit Card භාවිතා කර සිදුකරන ගණුදෙනු නිසා අනවශ්‍ය ප්‍රශ්නවලට මුහුණදීමට වෙළෙන්දන්ට සිදුවනවා
·         ගණුදෙනුව සිදුවූ බව ඔප්පු කිරීමට, නීතිමය වශයෙන් පිළිගත හැකි සාක්ෂි පහසුවෙන් සොයා ගැනීමට නොහැකි වෙනවා.


ඉලෙක්ට්‍රොනික වානිජ්‍යය ආකෘති

මෙහිදී අපට ප්‍රධාන ආකෘති 4 ක් හදුනාගත හැකිය

1.      B2C (Business to Consumer)
2.      B2B (Business to Business)
3.      C2C (Consumer to Consumer)
4.      G2C (Government to Citizen)


ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරුව (Electronic Fund Transfer – EFT)



ලිපි ලේඛන භාවිතයක් රහිතව පරිගණක පද්ධති භාවිතයෙන් ස්වයංක්‍රීයව එක් ගිණුමක සිට වෙනත් ගිණුමකට මුදල් මාරු කිරීම මේ නමින් හදුන්වයි.
උදා: ණයපත් මාර්ගයෙන් අන්තර්ජාලයෙන් භාණ්ඩ හා සේවාවන් සදහා මුදල් ගෙවීම දැක්විය හැකිය


ගෝලීය අරමුදල් හුවමාරුව (Global Fund Transfer)





ලොව පුරා විවිධ රටවල සිටින පුද්ගලයින් සිදුවන මුදල් හුවමාරුව කර ගැනීමට ක්‍රමවේදය මේ නමින් හැදින්වෙනවා
            උදා: Money Gram, Western Union
මෙහිදී ගෝලීය අරමුදල් හුවමාරුව සිදුකරනු ලබන සමාගම විසින් ලෝකය පුරා නියෝජිත ජාලයක් පවත්වාගෙන යනු ලබන අතරම පරිගණක ජාලයක් ඔස්සේ එම සියලුම නියෝජිතයින් එකට සම්බන්ධ කොට තිබෙනවා. අරමුදල් ලබා ගැනීම හා යැවීම ඕනෑම නියෝජිතයකු හරහා සිදු කිරීමට පුලුවන්. කිසියම් නියෝජිතයකු වෙත ගොස් අදාල මුදල් ප්‍රමාණය ලබා දී එම මුදල් ලබා දිය යුතු පුද්ගලයාගේ නම, ලිපිනය හා අනන්‍යතාව ලබා දුන් විට එම දත්තයන් පරිගණක ජාලයට ඇතුලු කොට විශේෂ විමර්ශන අංකයක් ලබා දෙනු ලබනවා. මෙම විමර්ශණ අංකය මුදල් යවනු ලබන පුද්ගලයා විසින් මුදල් ලබා ගන්නා පුද්ගලයාට ලබා දිය යුතුයි. මුදල් ලබන්නා විසින් තම රටේ තිබෙන ඕනෑම නියෝජිතයකු වෙත ගොස් අදාල විමර්ශණ අංකය හා තමාගේ අනන්‍යතාව සනාථ කිරීමෙන් පසු එම මුදල් ඔහුට හෝ ඇයට ලබාගත හැකිවනවා.



දැන් ඔබට ඉලෙක්ට්‍රොනික වානිජ්‍යය හෙවත් E-Commerce හී මූලික දේ පිළිබදව පැහැදිලි වනවා ඇති. මේ දේවල් ඔබට හා ඔබගේ ජීවිතයට වටීවි යන්න මගේ හැගීමයි. ඉදිරියේදීත් මෙවැනි වැදගත් ලිපි සමගින් ඔබ හමුවීමට බලාපොරොත්තු මා බලාපොරොත්තු වෙමි.