Tuesday 1 March 2016

දේශගුණය හා කාලගුණය අතර වෙනස හදුනා ගනිමු



“දේශගුණය” වගේම “කාලගුණය” කියන්නේ අපට නිතර රූපවාහීනියෙන් අසන්නට ලැබෙන වචන දෙකක්. මේ ගැන ඉතින් ගොඩක්ම අසන්නට ලැබෙන්නේ කාලගුණ වාර්තාවෙන් තමයි ඉතින්.

“අද පස්වරු 2.30 ට ලැබුණු චන්ද්‍රිකා ඡායාරූපයට අනුව බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කේන්ද්‍රයක් වර්ධනය වෙමින් පවතී. මේ අනුව ඉදිරි දින කිහිපය ශ්‍රී ලංකාවේ අහස වළාකුලින් බරවන අතර වැසි සහිත කාළගුණයක් වර්ධනය වනු ඇත.”

ඉහත මා ගෙනහැර දැක්වූයේ එක්තරා රූපවාහිනී කාලගුණ වාර්තාවකින් උපුටා ගත්ත කොටසක්. එයින් කියැවෙන්නේ අද පවතින තත්වය වෙනස් වූ වැසි සහිත කාලගුණ තත්වයක් ඉදිරි දිනවල පැවතිය හැකි බවයි. දෛනිකව වායුගෝලයේ පවතින උෂ්ණත්වය, පීඩනය හා වර්ෂාව මේ වෙනස්කම්වලට පදනම් වී ඇති බව ඔබට වැටහෙනවා ඇති.

කෙටි කාලයකදී හෝ දෛනිකව සිදුවන කාලගුණික වෙනස්කම් ඕනෑම ප්‍රදේශයක මිනිස් කටයුතුවලට බලපෑම් කරන ආකාරය සොයා බැලීම ඉතා වැදගත් කටයුත්තක් වනවා මන්ද ගමන් බිමන් හා විනෝද චාරිකා, ගොවිතැන් කටයුතු, ධීවර කටයුතු හා ක්‍රීඩා වැනි අපේ දෛනික ජීවිතය සම්බන්ධ වැඩ කටයුතු වලදී කාලගුණයෙන් ඇතිවන බලපෑම් ගැන අවබෝධයෙන් කටයුතු කිරීම ඉතා අත්‍යවශ්‍ය වනවා. දෛනික ජීවිතයට සම්බන්ධවන කාලගුණයත් එහි දිගුකාලීන තත්වයන් මත දේශගුණයත් පැහැදිලි අවබෝධයක් ලැබීම ඔබට ඉතා ප්‍රයෝජනවත් කටයුත්තක් වනවා නොඅනුමානයි.


කාලගුණය




කාලගුණය කියන්නේ කිසියම් මොහොතක කිසියම් ස්ථානයක වායුගෝලයේ ස්වභාවය ලෙස අර්ථ දක්වන්න පුලුවන්. මේ වායුගෝලයේ ස්වභාවය පිළිබද අදහස් කරන්නේ උෂ්ණත්වය, වර්ෂාපතනය ආර්ද්‍රතාවය, වළාකුළු, සුලගේ වේගය හා සුලං හමන දිශාව වගේ දේවල් තමයි. සමහර දවස්වල ඔබ දන්නවා දිගටම වහිනවා. එතකොට අපි කියනවා වැසි සහිත කාලගුණයක් කියලා, ඒ වගේම සමහර දවස්වල හොදට පායනවා. එතකොට අපි කියනවා උණුසුම් දිනයක් කියලා. ඒ කොහොම වුනත් කාලගුණය කියන දේ අපිට කෙටියෙන් මේ විදියට අර්ථ දක්වන්න පුලුවන්,

“කාලගුණය යනු කිසියම් මොහොතක කිසියම් ස්ථානයක පවතින වායුගෝලයේ තත්වයයි.”


දේශගුණය


කාලගුණික තත්වයන් දිගු කාලයක් තිස්සේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ලබා ගන්නා පොදු නිගමනයකට දේශගුණය ලෙස ව්‍යවහාර කෙරෙනවා. දිවයිනේ බොහෝ කාලයක් තිස්සේ රැස් කරනු ලැබූ දෛනික කාලගුණ වාර්තා ඇසුරු කරගෙන දේශගුණය ගැන පොදු නිගමනවලට එලැබීමට අපට පුලුවන්. ඒ අනුව මේ විදියට අපිට දේශගුණය කියන දේ අර්ථ දක්වන්න පුලුවන්.

“කාලගුණික තත්වයන් දිගු කාලයක් තිස්සේ නිරීක්ෂණය කිරීමෙන් ලබා ගන්නා පොදු නිගමනය දේශගුණයයි.”

දේශගුණය සකස් වෙලා තියෙන්නේ වායුගෝලයේ උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, පීඩනය හා සුළං කියන අංග වලින්. ඒවා දේශගුණික මූල විදියට හදුන්වනු ලබනවා. ඒ වගේම දේශගුණික සාධක ගැන දැන ගැනීමත් ඉතා ප්‍රයෝජනවත් කටයුත්තක් වනවා.

දේශගුණික තත්වයන් තීරණය වීමේදී කරුණු රාශියක් බලපානු ලබනවා.

·         අක්ෂාංශගත පිහිටීම
·         උන්නතාංශය
·         මුහුදේ සිට ඇති දුර
·         ගොඩබිම්, ජලාශ
·         දියවැල්
·         කදු බාධක


දැන් ඔබට කාලගුණය හා දේශගුණය පිළිබදවත් ඒ දෙකෙහි වෙනස පිලිබදවත් හොදින් වැටහෙනවා ඇති. ඉදිරියේදීත් දේශගුණික සාධක පිළිබදව වෙන වෙනම ඔබට දැනුම ලබා දීමට අපි බලාපොරොත්තු වනවා. දිගටම අප හා රැදී සිටින්න කියලා මම මේ ලිපිය කියවන හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.