Sunday 3 July 2016

1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අධ්‍යනය කරමු

 නිදහස ලැබීමෙන් පසුව වූවත් අප රට තුළ ක්‍රියාත්මක වූයේ 1946 ලංකා රාජාඥාව මගින් ප්‍රකාශයට පත් කරනු ලැබූ සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. මේ පිළිබඳව අප කලින් ලිපියකදී ඔබව දැනුවත් කලා ඔබට මතක ඇති.

            එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1947 ලංකා නිදහස් පනත ඇතුළු තවත් අණ පනත් කිහිපයක් එක් කොට සකස් කරනු ලැබූ ආණ්ඩුක්‍රමය 1948 නිදහස ලැබීමෙන් පසුවද ක්‍රියාත්මක වූයේය. එම ව්‍යවස්ථාව 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත වන තෙක්ම ක්‍රියාත්මක විය.

            ඉහත සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල රාජ ආඥා හා නියෝග මගින් බ්‍රිතාන්‍ය ආණ්ඩුව නිදහස් ශ්‍රී ලංකාවේ පාලනය කෙරෙහි විවිධාකාර බලපෑම් කිරීමට ඉඩ ප්‍රස්ථා සලසාගෙන තිබිණි. ඒ අනුව ව්‍යවස්ථාව විධායකය හා අධිකරණය යන සියලු ක්ෂේත්‍රවල මැදිහත්වීමේ බලතල බ්‍රිතාන්‍ය ආණ්ඩුව සතු විය.

            1950 දශකයේ සිට දේශපාලනඥයන්, බුද්ධිමතුන්, විචාරකයන්, ලේඛකයන් වැනි සමාජයේ ප්‍රභූ කොටස් විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කර දෙනු ලදී. කෙසේවූවද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමේ ස්ථිරසාර මාවතට පිවිසියේ 1970 මහා මැතිවරණයෙන් පසුවයි. 1970 මහා මැතිවරණය සදහා තරග කල සමගි පෙරමුණ ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයක් පිහිටුවීම සදහා ජනතා වරමක් ඉල්ලා සිටියේය.

එකී 1970 සමගි පෙරමුණ මැතිවරණ ප්‍රකාශය මෙසේය.

“ඔබ විසින් තෝරා පත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එකවරම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස රැස්වීමටද නව ව්‍යවස්ථාවක් සකස් කිරීමටද බලය ලබා දෙන මෙන් අපි ඔබෙන් ඉල්ලමු. එම ව්‍යවස්ථාව මගින් ලංකාවට නිදහස් ස්වෛරී ජනරජයක් බවට ප්‍රකාශ කරනු ලබන අතර ඒ තුලින් සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික අරමුණු ප්‍රත්‍යක්ෂ කර ගැනීමටද සියලු පුරවැසියන්ගේ මූලික මානව අයිතිවාසිකම් හා නන් වැදෑරුම් නිදහසද ආරක්ෂා කර දීමටද අපි බලාපොරොත්තු වෙමු”

ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය


1972 ප්‍රථම ජනරජ ව්‍යවථාවේ අරමුණු


1.      ශ්‍රී ලංකාව ස්වෛරී ස්වාධීන සමූහාණ්ඩුවක් බවට පත් කිරීම.

2.      සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික සමාජයක් ගොඩ නැඟීමට අවශ්‍ය ව්‍යවස්ථාමය ව්යූහයක් සකස් කොට දීම.

3.      මෙරට ජනතාවගේ නිදහස ඇතුළු නන්වැදෑරුම් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කොට දීම යනාදිය ප්‍රධාන විය.




සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හා ජනාධිපති විලියම් ගොපල්ලව මැතිතුමා