Friday 4 August 2017

සිමෙන්ති නිෂ්පාදනය පිළිබඳව දැන ගනිමු


ඔයාලා දන්නවා සිමෙන්ති කියන්නෙ ගොඩනැගිලි ඉදිකිරීමේදී ඉතා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් කියලා, ඒ වගේම මේ සිමෙන්ති වලට ජලය එකතු කළාම දැඩි බවට පත්වීමත් විශේෂ ලක්ෂණයක් විදියට දක්වන්න පුලුවන්.
ඔයාලා  අහලා ඇති ගොඩක් ලෝකයේ වෙනත් රටවල මේ සිමෙන්ති හදුන්වන්නෙ පෝට්ලන්ඩ් සිමෙන්ති(Portland Cement) යන නමින්. ඉතින් මේ සිමෙන්ති වලට 'පෝට්ලන්ඩ්' කියන නම යොදල තියෙන්නෙ ජෝෂප් ඇස්ඩින් නමැති පුද්ගලයෙක් විසින්. ඒකට හේතුව වෙලා තියෙන්නෙ එංගලන්තයේ පෝට්ලන්ඩ් කියන ප්‍රදේශයේ තිබුණු එක්තරා පාෂාණ වර්ගයක් සිමෙන්ති වලට බොහෝ සමාන කමක් දැක්වීමයි.
සිමෙන්ති නිෂ්පාදනය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය විදියට හුනුගල්, මැටි හා ජිප්සම් දක්වන්න පුලුවන්. මෙහිදී හුණුගල් හා මැටි 1:3 අනුපාතයට මිශ්‍ර කරන අතර පසුව සිහින් කුඩක් සේ අඹරා භ්‍රමණ පෝරණුව කියන උපකරණයට ඇතුළු කිරීම සිදු කරනු ලබනවා. ඉන්පසු මේ භ්‍රමණ පෝරණුව තුළදී අදාල මිශ්‍රණය 1400 C - 1600 C දක්වා රත් කිරීම සිදුකරනු ලබනවා.

භ්‍රමණ පෝරණුවක් 


මේ භ්‍රමණ පෝරණුව පොළොවට අංශක දහයක පමණ ආනතියකින් සකස් කර ඇති උපකරණයක්. එය එහි අක්ෂය වටා සෙමෙන් භ්‍රමණය වීම සිදුවනවා. හුණුගල් හා මැටි මිශ්‍රණය භ්‍රමණ පෝරණුවට ඇතුළු කරනු ලබන්නේ එහි ඉහළ කෙළවරින් වන අතර පෝරණුවේ භ්‍රමණයත් සමග අදාල මිශ්‍රණය රත් වෙමින් සෙමින් පහළට ගලා යාම සිදුවෙනවා.
මේ ආකාරයෙන් අදාල මිශ්‍රණය බොහෝ වේලාවක් රත්කරන අතර පෝරණුවෙන් ඉවතට ගන්නා මිශ්‍රණය 'ක්ලින්කර' නමින් හදුන්වනු ලබනවා.
භ්‍රමණ පෝරණුව තුළදී කැල්සියම් කාබනේට් වියෝජනය වීමෙන් කැල්සියම් ඔක්සයිඩ් හා කාබන්ඩයොක්සයිඩ් වායුව සෑදීම සිදුවනවා. ඊට අදාල ප්‍රතික්‍රියාව මේ ආකාරයෙන් දක්වන්න පුලුවන්
CaCO3(s) ---------->  CaO(s) + CO2(g)

සෑදෙන කැල්සියම් ඔක්සයිඩ් මැටිවල තිබෙන සිලිකා එක්ක ප්‍රතික්‍රියා කර ඉතාමත් දැඩි ද්‍රව්‍යයක් වන කැල්සියම් සිලිකේට් සෑදීම සිදුවෙනවා. ඒ වගේම මැටිවල තිබෙන ඇලුමිනියම් ඔක්සයිඩ් කැල්සියම් ඔක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කර කැල්සියම් ඇලුමිනේට් සෑදීමත් සිදුවෙනවා.
ඒ සදහා ප්‍රතික්‍රියා මේ ආකාරයෙන් දක්වන්න පුලුවන්.
CaO + SiO2 ------------> CaSiO3
3CaO + Al2O3 ---------> Ca3(AlO3)2
මේ ආකාරයට සෑදෙන කැල්සියම් සිලිකේට් හා කැල්සියම් ඇලුමිනේට් මිශ්‍රණය 'ක්ලින්කර' ලෙස හදුන්වනු ලබනවා. මේවා කොළ පැහැයට හුරු කළු පැයකින් යුක්ත ඉතා දැඩි ද්‍රව්‍යයක්. කොපමණ කාලයක් ගබඩා කර තැබුවත් වෙනස්වීම් වලට භාජනය වන්නේ නැහැ.
මේ ක්ලින්කර කුඩුවලට 2% ක් පමණ ජිප්සම් මිශ්‍ර කර සිමෙන්ති සාදා ගනු ලබනවා. සිමෙන්ති වලට ජලය එකතු කලහොත් ක්ෂණිකව සවි වෙන අතර ජිප්සම් එකතු කිරීමෙන් එම සවිවීම ප්‍රමාද කරගන්න පුලුවන්.