Monday 26 June 2017

රමණීය වූත් අද්භූත වූත් අරුම පුදුම ටිටිකාකා විල ගැන සොයා බලමු

අද දිනයේත් අප ඔබගේ දැනුම් වැඩි කරලීමේ අරමුණින් අරුම පුදුම ස්ථානයක් ගැන තොරතුරු ගෙන ආවෙමු. එනම් මෙහි දැක්වෙන්නේ ලොව උච්චත්වය අතින් ඉහළින්ම එහෙමත් නැතිනම් ලොව උසින්ම පිහිටි විල වන ටිටිකාකා විල පිළිබඳවයි.


ටිටිකාකා විල


ලොව උස්ම තැනක පිහිටා ඇති ටිටිකාකා විල අඩි 890ක් ගැඹුරැති සැතපුම් 138ක් දිග සැතපුම් 69ක් පළලැති රට අභ්‍යන්තරයේ පිහිටි සයුරකි. මෙය පේරු බොලිවියා දේශසීමාව අතරේ දකුණු ඇමරිකාවේ බටහිර දෙසට අන්දීස් කදුවැටි සමීපව පිහිටා ඇත. මෙම ප්‍රදේශයට පළමුව පැමිණියවුන් එදා සිට අද දක්වාම භාවිතා කරන සුවිශේෂී බෝට්ටු විශේෂයකි, එය “බල්සා” නමින් හදුන්වයි.

බල්සා බෝට්ටු 

ටිටිකාකා විලෙහි කුඩා දූපත් පැහැදිලිව ඉස්මතුව පෙනෙන අතර මෙම විල කරා ඇදී එන පක්ෂීන් දහස් ගණනකි. මේ අසළ පිහිටි උසම කදුවැටිය වන්නේ ඉලිමානි කදුවැටියයි. එහි උස අඩි 21,184කි. එය බොලිවියාවේ ලාපාස් නගරයට සැතපුම් 40ක් පමණ දකුණු දෙසින් පිහිටා ඇත. මෙම දර්ශනය රමණීය වුවද වුවද විටෙක හටගන්නා සැඩ සුළගින් අඩි නවයක පමණ උසැති දළ රළ පෙළක් හටගනී. විටෙක පතිත වන වර්ෂාවද දින ගණන් පවතී. වසර පුරාම දක්නට ලැබෙන්නේ මීදුම් සහිත දේශගුණයකි. හිරුකිරණ මගින් විල් දියෙහි උණුසුම ෆැරන්හයිඩ් අංශක 52-56 අතර පවත්වා ගනී. මේ අවට පරිසරයේ දක්නට ලැබෙන්නේ ෆාම් ගස් කිහිපයක් පමණි.

මෙම විලට ටිටිකාකා යන නම ලැබී තිබෙන්නේ කැලෑ බළලුන් හේතුකොට ගෙනයි. මෙම කැලෑ බළලුන් රොකී දූපත්වල ජීවත්වන අතර ආහාර සොයා දූපත් වෙත පිහිනයි තවත් අපූරු කරුණක් වන්නේ මෙම විලෙහි පිහිටීම පැතීමට සූදානම් වන කැළෑ බළලෙකුගේ ස්වරූපය ගැනීමයි.

ටිටිකාකා විලෙහි වයස වසර මිලියන 60ක් පමණ වන නිසා භූ විද්‍යාත්මක සලකා බැලූ විට එය රොකී කදුවැටි මෙන්ම තරුණ අවධියේ පසුවෙයි. ටිටිකාකා උපත ලැබීම හා සම්බන්ධ අපූරු සිදුවීමකි අන්දීස් කදුවැටි අතර වූ විශාල විවරය. හිම යුගයේදීම අයිස් හා හිමවලින් වැසී ගිය අතර නැවත දේශගුණය උණුසුම් වූ පසු එම විවරයෙහි වූ හිම දියවී ජලාශයක් බවට පරිවර්තනය වීමෙන් පසු ග්ලැසියර මගින් දියවැල් නිර්මාණය වී ටිටිකාකා විල උපත ලබා ඇත.




මෙහි ජීවත්වන සෑම පුද්ගලයෙකුම හිස රිදුම හා හුස්ම ගැනීමේ අපහසුතාවයන්ට මුහුණ දෙයි. ප්‍රධානම අපහසුතාව ඔක්සිජන් හීනතාවයයි. ජල යාත්‍රාවන්හි පිටස්තර යන්ත්‍ර පවා ක්‍රියාත්මක වනුයේ නියමිත ජව බලයට වඩා අඩකිනි. මෙහි ජීවත්වන හැඩි දැඩි ඉන්දියානුවන් බරින් රාත්තල් 150කි. ඔවුන්ගේ ළය හා පෙණහළු වර්ධනය වන බැවින් ඔවුන්ට ඔක්සිජන් හීනතාවයට මුහුණ දිය හැකිවේ. එසේම පහත්බිම් වැසියන්ට වඩා වැඩි රුධිර ප්‍රමාණයක් ශරීරය තුළ රැස්ව ඇත. ඔවුන් වෙනත් ප්‍රදේශවල ජීවත්වන්නන් මෙන්ම කාලවර්ණයෙහි හෙබීය. මෙහි ජීවත්වන පුද්ගලයින් චර්ම පිළිකාවලට ගොදුරු නොවන බැවින් ඒ පිළිබඳව ඔවුහු නොදනිති. එයට හේතුව සූර්‍යයාගේ විශේෂිත බලපෑමයි.

මෙහි ජනගහනය සම්පූර්ණයෙන්ම ඉන්කාවරු වෙති. ක්‍රිපූ.1230 පමණ හිරු දෙවියන් තම පුත්‍රයාත්, දුවණියත් ටිටිකාකා විල මැද පිහිටි හිරු දිවයින වෙතට එවීමෙන් පසු නියම ඉන්කා අධිරාජ්‍යය ගොඩනැගුණු බව පුරාවෘත්තවල සදහන් වේ. 1533 ස්පාඤ්ඤ ජාතිකයන් පැමිණෙන තුරුම ඉන්කාවරුන්ගේ ජනගහනය පේරු ඉක්වදෝරය හා බොලිවියාව පුරා පැතිර ගියේය. ඉන්කාවරුන්ට පෙර මෙහි දියුණු ශිෂ්ටාචාරයක් තිබී ඇත. ඉන් ඉතිරිව ඇත්තේ ටියානුවානකෝ(Tiahuanaco) නගරයයි. එකල එහි ලක්ෂයක පමණ ජනතාවක් ජීවත් වූහ. එය බොලිවියාවේ පිහිටා ඇත. මෙහි ඇති පිරමීඩයක නෙලන ලද රූප බොහොමයක් දැකිය හැකිය. ටොන් 150ක් පමණ බරැති විශාල ගල් කුට්ටි මගින් විශාල දේවස්ථානයක් ඉදිකර ඇත.


මොවුන්ගේ භාෂාව ස්පාඤ්ඤ භාෂාවයි. එය රාජකාරිමය භාෂාව වේ. ප්‍රධාන වශයෙන් මොවුහු මුදල් වෙනුවට භාණ්ඩ හුවමාරු කර ගනිති. එසේම වාර්ෂික ඉපයීම ඩොලර් 150කි. ප්‍රධානතම ආහාරය සුදු අර්තාපල් වන අතර මසුන් මැරීමද කෙරෙයි.

ගමනාගමනය සදහා යොදාගන්නා බෝට්ටු සාදා ඇත්තේ “ටොටෝරා” නමැති බටගස් විශේෂයකිනි. ඉන්කාවරු මේවා විවිධ දේවල් සදහා යොදාගනී. එනම් ගෙවල් සෙවිලි කිරීමටද මෙහි ළපටි මුල් තෘණවලින් ලණු විටි බැඳ ගනිති. මෙම ජනයා බොහෝ මිත්‍යාවන් අදහන්නෝ වෙති. විලේ විශාල බිහිසුණු සත්වයෙකු වාසය කරන බව මොවුහු විශ්වාස කරති. පුරාවෘත්ත අනුව ඉන්කාවරු විශාල රත්තරන් ප්‍රමාණයක් සඟවා ඇතැයි පැවසුණද ප්‍රංශ ජාතික සාගර විද්‍යාඥයෙකු සති අටක් පුරා විල පරික්ෂා කළද ඔහුට නිධානයක් දක්නට නොලැබිණි. ඔහුට හමුවූයේ අඩි 2ක් පමණ දිග මැඬියෙකු පමණි. මෙහි එවැනි මැඬියන් ලක්ෂ ගණනින් ජීවත් වෙති.

මෙහි පුනෝ නම් වූ නගරයේ මාර්ග රථවාහන අබලන් කිරීමට සමත්‍ය. ජනගහනය 150,000ක් වන අතර ජනයා පාවහන් නොමැතිව ගමන් කරති. සිව්පාවුන් මගින් බඩු ප්‍රවාහනය කෙරෙයි. මෙම නගරය ස්පාඤ්ඤ හුරුවක් ගනී. මංමාවත් ඉතා පටුවන අතර නිවෙස්වල පියසි රතු උළුවලින් සෙවිලි කර ඇත. 17 වන සියවසේදී මෙම නගරය අවටින් රිදී පතල් හමුවී ඇත. නමුත් වර්තමානයේ මෙම නගරය හොර ජාවාරම් සිදුකරන ස්ථානයක් බවට පත්වී තිබේ. ජාවාරම්කරුවෝ විවිධ භාණ්ඩ කුඩා බෝට්ටු මගින් ප්‍රවාහනය කරමින් වෙළදාම් කරති.

ටිටිකාකා විල පේරු හා බොලිවියා යන දෙරට අතර පිහිටා තිබුණද කිසිම අවස්ථාවක මෙම විලට අයිතිවාසිකම් නොකියන්නේ එය දෙරටටම සමසේ බෙදා තිබෙන බැවිනි. ඒ නිසා විශාල වාරි කටයුත්තක් හෝ ජල විදුලිය උත්පාදනය කිරීමේ හැකියාව දෙරටටම ලැබී නැත. නමුත් එවැනි සංවර්ධනයක් ඇති කිරීමට බොලීවියානු රජය පියවර ගනිමින් සිටියි. මෙමගින් වාරිමාර්ග කටයුතු, නාවික ගමනාගමන කටයුතු වර්ධනය කළ යුතු වේ. එමෙන්ම බොලිවියාවේ විද්‍යාත්මක සංගමයේ සභාපතිවරයෙකු වූ ජෝර්ඩ් බ්‍රනෝස් රෙයස් පවසන්නේ විල් පතුලේ සැගවී ඇති ඛනිජ සම්පත් සොයාගෙන දකුණු ඇමරිකාවේ ඇති වටිනාම විල ටිටිකාකා විල බවට පත්කළ යුතු බවයි.



(නවෝදා තත්සරණී, මුතුහර සගරාවේ 2009 අප්‍රේල් මාසිකයේ උපුටා ගැනීමක් බව සලකන්න. මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය ඔවුන් සතුවේ.)



මෙම ලිපිය ඔබගේ මිතුරන්ටත් කියවීමට Facebook, Twitter, Google Plus හා Linkedin යන ඔබගේ සියලුම සමාජ ජාලා ගිණුම් වෙත බෙදා ගැනීමටද අමතක නොකරන්න.


අපගේ අනෙකුත් ලිපිත් කියවන්න......