Monday 24 July 2017

මිනිසා පළමුවෙන්ම සද මත පා තැබූ ඒ ඓතිහාසික විජයග්‍රහණයේ 48 වන වසර සැමරේ



මානව ඉතිහායේ සුවිශේෂි සංධිස්ථානයක් සනිටුවහන් කරමින් 1969 ජුලි 21 දින ශ්‍රි ලංකා වේලාවෙන් පෙ.8.08 ට මිනිසෙකු පළමුවෙන්ම සද මත පා තැබීය. ඒ ඓතිහාසික මිනිසා වූයේ ඇමරිකානු ජාතික නීල් ආම්ස්ට්‍රෝන්ග්ය.
ඇපලෝ 11 යානයෙන් ගමන් කරමින් නීල් ආම්ස්ට්‍රෝන්ග්, මයිකල් කොලින්ස්, එඩ්වින් ඔල්ඩ්‍රින් යන අජටාවකාශගාමීන් මේ ඓතිහාසික විජයග්‍රහණයට උර දුන්නේය.
මිනිසා සද මත පා තැබීම එක වරම සිදු වූවක් නොවේ. ඒ සදහා සියවස් ගණනක් තිස්සේ පරියේෂණ කරමින් මිනිසා ලබාගත් විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව ඊට බලපෑවේය. මේ යුගය වන විට ඇමරිකාව හා රුසියාව අතර පැවති සීතල යුද්ධය නිසා දෙරටම අහස ජය ගැනීමට උත්සහ කෙරිණි. එහි ප්‍රථිපලයක් ලෙස සද මත මිනිසෙක් පා තැබීම ඉක්මන් කෙරිණි.

මිනිසා සද මත පා තැබීමට බලපෑ ඉතිසාහගත සංධිස්ථාන

* 16 වන ශතවර්ෂයේදී ගැලීලියෝ ගැලීලි විසින් නක්ෂත්‍ර දුරේක්ෂය නිපදවීම.
* 17 වන ශත වර්ෂයේදී අයිසැක් නිවිටන් විසින් "ගුරුත්වාකර්ෂණ නියමය" ඉදිරිපත් කිරීම
* 1957 වසරේදී සෝවියට් රුසියාව විසින් "ස්පුටිනික් 1" නමැති පළමු කෘතීම චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීම
* 1961 දී රුසියානු ජාතික "යුරි ගගාරින්" අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා වීම.
* 1958 දී ඇමරිකාව විසින් නාසා ආයතනය පිහිටුවීම

ප්‍රථම සද ගමනට සම්බන්ධ වූ අභ්‍යවකාශගාමීන්


නීල් ආම්ස්ට්‍රෝන්ග්

1930 අගෝස්තු 5 වන දින ඇමරිකාවේ චැපකොන්ට් ගම්මානයේ උපත ලබා ඇත. වයස 19 සිටම ගුවන් යානා පැදවූ නීල් 1955 වසරේදී ගුවන් කටයුතු පිළිබඳව උපාධිය හදාරා ඇත.

මයිකල් කොලින්ස්

1930 වසරේ ඔක්තෝබර් 31 දින ඉතාලියේදී උපත ලැබූ මොහු යුධ පවුලකින් පැවත එන්නෙකි. 1966 වසරේදී ජේම්ස් යං සමග දින 3ක් අභ්‍යවකාශයේ ගත කිරීමට මොහුට හැකි විය.

එඩ්වින් ඕල්ඩ්‍රින්ස්

1930 වසරේ ජනවාරි 30 දින ඇමරිකාවේ නිව් ජර්සි හිදී උපත ලැබු මොහු 1951 වසරේදී විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කරන ලදී. 1963 වසරේදී විද්‍යා ආචාර්‍ය උපාධිය සම්පූර්ණ කිරීමටද මොහුට හැකිවිය.


ඇපලෝ 11 යානය

මෙය නාසා ආයතනය මගින් නිෂ්පාදනය කළ අතර මෙහි පරියේෂණ කටයුතු විශ්ලේෂණය කිරීම සදහා කැනරි දූපත් වල පරියේෂණ මධ්‍යස්ථාන කිහිපයක්ම පිහිටුවා තිබුණි. 'කරි හා ජෙමිනි යන අභ්‍යවකාශ ව්‍යාපෘති වලින් අනතුරුව නාසා ආයතනය කළ විශාලතම ව්‍යාපෘතිය මෙය විය. මෙම යානය ටොන් 3100 ක් බරින් යුක්ත වූ අතර කොටස් 3කින්ද යුතු විය.
1) පාලන මොඩියුලය හෙවත් මව් යානය
2) සේවා මොඩියුලය
3) චන්ද්‍ර යානය හෙවත් රාජාලියා


සද ගමන ඇරඹීම


ඇපලෝ 11 යානය රැගත් සැටර්න් 5 රොකට්ටුව අභ්‍යවකාශ ගත වූ අතර ගුවන් ගතවී විනාඩි 11 තත්පර 42 කට පසු සැටර්න් රොකට්ටුව අඩපණවී පෘථිවිය වටා කක්ෂගත වීම සිදුවිය. ඉන් පසු සද වෙත ගමන් කරන ගමන සිදුවූයේ ඇපලෝ 11 යානය මගිනි. මෙය සද වටා කිහිපවරක්ම ගන් කල අතර හුස්ටන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග නිරතුරු සබදතා පවත්වාගනු ලැබීය. අනතුරුව චන්ද්‍ර යානය හරහා නියමුවන් සද වෙත ගෙන යනු ලැබිණි.

සද මත කාර්‍යයන්

ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 8.08ට නීල් ආම්ට්‍රෝන්ග් යානයෙන් පිටතට පැමිණ සද මත පා තබමින් මිනිස් ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් සළකුණු කරනු ලැබීය. සද මත පා තැබීමෙන් අනතුරුව නීල් ආම්ස්ට්‍රෝන්ග් මෙසේ ප්‍රකාශ කළේය.
"මෙය මිනිසෙකුගේ එක් පියවරක් පමණයි. එහෙත් මෙය මිනිස් සංහතියම ඉදිරියට තැබූ වේගවත් පිම්මක් වනු ඇත."
මින් අනතුරුව එඩ්වින් ඕල්ඩ්‍රින් සද මත පා තැබීය. ඔවුන් දෙදෙනා එක්ව රිදියෙන් නිමකළ සමරුවක් සද මත සවි කළ අතර එහි මෙසේ සටහන් වී තිබුණි.
"වර්ෂ එක්දහස් නවසිය හැට නවයක් වූ ජුලි 21 දින පෘථිවි ග්‍රහයා වෙතින් පැමිණි මුල්ම මිනිස්සු සද මතට පා තැබූහ. සාමය පතා අපි මෙහි පැමිණියෙමු."
අනතුරුව සූර්‍ය සුළං රදනකය නමැති උපකරණයක් මෙහි තැන්පත් කරනු ලැබූ අතර පසුව ඇමරිකානු ජාතික ධජය සදමත පිහිටුවීම සිදුවිය.
නීල් ආම්ස්ට්‍රොන්ග් විශේෂ ආයුධයකින් පස් හා චන්ද්‍ර පාෂාණ එකතු කරගත් අතර පරියේෂණ සදහා ඒවා පෘථිවියට රැගෙන එනු ලැබීය.

පෘථිවිය වෙත ආපසු ගමන

නියමුවන් රැගත් ඇපලෝ යානය ජුලි 24 රාත්‍රියේ පැයට සැතපුම් 24,641 වේගයෙන් නැවත පෘථිවිය වෙත පැමිණි අතර යානයේ සවිකර තිබූ පැරෂුට 3ක් මගින් යානයේ වේගය අඩු කෙරිණි. නියමුවන්ට වන අනතුර වළක්වාලීමට හා හදිසි පියවර ගැනීම සදහා "හෝර්නට්" නමැති නෞකාව ස්ථානගත කර තිබිණි.

සද ගමනින් පසු තත්වය

මෙම ඓතිහාසික සිදුවීමෙන් පසුව බොහෝ රටවල් සද මතට යාමට උනන්දු විය නමුත් අධික වියදම් නිසා එම උත්සහයන් සාර්ථක නොවීය. ඇමරිකාව විසින් ඇපලෝ 12,13,14,15,16,17 යන ව්‍යාපෘති මගින් සද වෙත මිනිසුන් රැගෙන ගිය අතර එමගින් සද පිළිබඳව තවත් තොරතුරු ගවේෂණය කරනු ලැබීය.
1969/11/12 සද වෙතට ගමන් කළ චාල්ස් කොන්රඩ්, ඇලන් බීන්, රිචර්ඩ් හොර්ටන් විසින් සද මතුපිට පරියේෂණාගාරයක්ද පිහිටුවාලීය.
ඇපලෝ 16 මගින් සද මත දුරදක්නයක්ද ස්ථාපනය කරනු ලැබීය.1972/12/07 දින සද මත චැලෙන්ජර් චන්ද්‍රයානය ගොඩ බැස්වූ අතර කෘතීම චන්ද්‍රිකාවක් සද වටා කක්ෂ ගත කිරීමද සිදුවිය.
ඇපලෝ 17 න් පසුව ඇමරිකාව විසින් මිනිසුන් සද මතට රැගෙන යන ව්‍යාපෘති අවසන් කළ අතර නැවත 2020 න් පසුව මිනිසුන් සද මතට රැගෙන යාමට දැනටමත් ඔවුන් සැලසුම් සකස් කරමින් සිටිති
.
(මෙම ලිපිය සකස් කෙරුණේ විකිපීඩියා ඇසුරෙනි)

මෙම ලිපිය ඔබේ මිතුරන්ටත් කියවීමට Facebook, Twitter, Linkedin, google Plus යන සමාජ ජාල වලට පහතින් බෙදා ගන්න