Saturday 15 October 2016

ශ්‍රී ලංකාවේ පාෂාණ පිළිබඳව අධ්‍යයනය කරමු

ඉතින් අද අපි Sinhala Subjects බ්ලොගය තුළින් ඔයාලට ගෙන එන්නේ භූගෝල විද්‍යාව හා කෘෂිකර්මය විෂයට අදාල ලිපියක් එනම් ශ්‍රී ලංකාවේ පාෂාණ කියන මාතෘකාව යටතේ. ඉතින් මේ ලිපිය අ.පො.ස සාපෙළ නංගිලා මල්ලිලාටත් අනෙකුත් පස පිළිබඳව අධ්‍යනය කරන හා ඉගෙන ගන්න හැමෝටම වැදගත් වේවි කියලා මම හිතනවා.

ශ්‍රී ලංකාවේ ඇති පාෂාණ සලකා බැලූ කළ ඉන් 90% පමණම අයත් වන්නේ ප්‍රාග් ක්‍රේම්බීය හෙවත් ආකියන් යුගයටයි. පොසිලවලින් තොර මෙම පාෂාණ විශේෂය අධික ලෙස ස්ඵටිකීකරණයට ලක්ව ඇත. කාලය ගත්වීමත් සමග විපරිත වීමෙන් අනතුරුව වර්තමානයේ නයිස් පාෂාණ වශයෙන් දැකිය හැකිය.

ශ්‍රී ලංකාවේ පාෂාණ ව්‍යාප්ති සිතියම 



භූ කාලය සලකා බලා ශ්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක සැකැස්ම ප්‍රධාන කොටස් තුනකට බෙදා දක්වා ඇත.

1.      විජයානු ශ්‍රේණිය (ප්‍රාග් ක්‍රේම්බ්‍රීය ස්ඵටික පාෂාණ)
2.      උස්බිම් ශ්‍රේණියට අයිති ග්‍රැනයිට් පාෂාණ
3.      ජුරාසික, මයෝසීන හුණුගල් හා චාතුර්ථක යුගයට අයත් පාෂාණ ලෙසය




විජයානු ශ්‍රේණිය

ප්‍රාග් කේම්බ්‍රීය යුගයට අයත් මෙම පාෂාණ ලංකාවේ නැගෙනහිර හා ගිනිකොණ දිග ප්‍රදේශවල පිහිටි පහත්බිම්වල බහුලව දැකිය හැකිය. මෙම කලාපයේ පාෂාණ වර්ග මිශ්‍රව ඇති අතර උස්බිම් ශ්‍රේණියට හා විජයානු ශ්‍රේණියට ආක්‍රාන්ත වූ පාෂාණ තීරු කිහිපයක්ද දැකිය හැකිවේ. කල්ලෝඩය වේල්ල මීට නිදසුනකි.




උස්බිම් ශ්‍රේණිය

උස්බිම් ශ්‍රේණියට බහුලවම අයත් වන්නේ ග්‍රැනයිට් පාෂාණය. මෙම පාෂාණ ත්‍රීකුණාමල ප්‍රදේශයේ සිට නිරිත දිගට විහිදී කදුකරය දක්වා පැතිර පවතී. මෙම ශ්‍රේණියට අයත්වන පාෂාණ විවිධය. පොළොන්නරුව, මින්නේරිය මෙන්ම මධ්‍යම කදුකරයේමාතලේ දිස්ත්‍රික්කයේද පැතිර ඇත. ගානට්, මිනිරන්, ෂිස්ට්, තිරුවානා, චානොකයිට් හා ස්ඵටික හුණුගල් යන පාෂාණ මෙහිදී ඉතා වැදගත් වේ.




ජුරාසික හා මයෝසීන හුණුගල් ප්‍රදේශ

තබ්බෝව, ආඬිගම හා හලාවත ආසන්නයේ පල්ලම ප්‍රදේශවල ජුරාසික නිධි දක්නට හැකිය. නොගැඹුරු ජලයේ තැන්පත් වී ඇති මෙම ජුරාසික නිධිවල පොසිල හෙවත් ශාක ලක්ෂණ හා බීජානු දැකිය හැකිය. මුලතිව් සිට පුත්තලම දක්වා අදිනු ලබන රේඛාවකින් ඉහළ පිහිටි උතුරු ප්‍රදේශය මයෝසීන හුණුගල් ප්‍රදේශ වේ. අතිශය වැදගත් ජලධර ප්‍රදේශයක් වන මෙම මයෝසීන හුණුගල් කලාපයේ වැලි, මැටි හා වීදුරු වැලිද දක්නට හැකිය.




දැන් ඔබට ශ්‍රී ලංකාවේ පාෂාණ පිළිබඳව යම් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතමි. මීලග ලිපිය තුළින් ඔබට ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් පිළිබදවත් ශ්‍රී ලංකාවේ පස පිළිබඳවත් දැනුම ගෙන ඒමට අප සූදානම්. එතෙක් අප සමග රැදී සිටින මෙන් ඔබෙන් ඉල්ලා සිටින අතර මෙය ඔබගේ අනෙකුත් මිතුරන්ටත් කියැවීමට හැකිවන ලෙස share කරන්න


( මෙය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ 11 ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළ පොත ආශ්‍රයෙන් සැකසූවකි.)