Thursday 13 October 2016

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ කොත්මලේ ජලවිදුලි ව්‍යාපෘතිය

 අද දිනයේ අප ඔබට ගෙන එන්නේ තරමක් විෂයානුකූල බවින් දුරස් වූ ලිපියක්. අද අප මේ ලිපිය තුළින් කරුණු ගෙන ඒමට සැරසෙන්නේ ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය පිළිබදවයි.



පරිසරය හා අත්වැල් බැදගත් සංවර්ධනය තුළින් දේශයේ ආර්ථික සෞභාග්‍ය කරා යන අරමුණ අතැතිව 1968 වසරේදී සකස් කරනු ලැබූ මහවැලි සංවර්ධන මූලික සැලැස්මට අයත්ව තිබූ ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය නොයෙකුත් දේශපාලන හා වෙනත් ගැටලු නිසා ප්‍රමාද විය. නැවත එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනුයේ 2002 වසරින් පසුවය.

මහවැලි ගගේ අතු ගංගාවක් වන කොත්මලේ ඔය තලවකැලේ නගරය ආසන්නයේදී හරස් කිරීමෙන් ලබාගන්නා ජලය, කිලෝමීටර 12.5 ක පමණ දුරක් උමං මාර්ගයක් ඔස්සේ , කොත්මලේ නියම්ගංදොර ප්‍රදේශයේ පිහිටි භූගත විදුලි බලාගාරය වෙත රැගෙන ගොස් එහිදී මෙගා වොට් 150ක විදුලි බල ධාරිතාවක් ජනනය කොට, ජාතියේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දැයට දායාද කිරීම, ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය මගින් ඉටු කොට ඇත.



වේල්ල



ඉහළ කොත්මලේ ජලාශයේ වේල්ල තලවකැලේ නගරය ආසන්නයේ පිහිටා ඇති අතර එය කොන්ක්‍රීට් වලින් නිමවූවකි. එය දිගින් මීටර 180ක්ද උසින් මීටර 35.5 ක් ද වන අතර වාන් දොරටු 5කින්ද සමන්විතය. ජලාශයේ එක් රැස්වන වැලි හා රොන් මඩ ඉවත් කිරීම සදහා මෙන්ම ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ලේ රමණීයත්වය උදෙසා දිය ඇල්ල වෙත ජලය නිදහස් කිරීමට සැකසූ විශේෂ දොරටු දෙකකින්ද යුක්තය. මෙම වේල්ල තුළින් හදිසි ගංවතුර තත්වයකදී තත්පරයට ජලය ඝන මීටර 3300ක් වාන් දොරටුවලින් පිටතට යැවිය හැකිය.



ජලාශය

ජලාශයේ ප්‍රයෝජනයට ගත හැකි ධාරිතාව ඝන මීටර් 822,000ක් වන අතර සම්පූර්ණ ධාරිතාව ඝන මීටර් 1,200,000ක් පමණ වේ. මෙය වර්ග මීටර් 250,000ක වපසරියක් පුරා පැතිර පවතී. උපරිම සැපයුම් මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 1190ක් වේ.



උමං මාර්ගය


දිගින් කිලෝමීටර 12.5ක් වන උමං මාර්ගය හරස්කඩ අශ්ව ලාඩමක හැඩයෙන් යුතු විෂ්කම්භය මීටර 5.8ක් පමණ වූවකි. අධි පීඩනයකින් යුතුව ටර්බයින වෙත ජලය යොමු කිරීම සදහා, උම්ං මාර්ගය කෙළවර පෙන්ස්ටෝක් නමින් හැදින්වෙන, ඉහළ සිට පහළට දිවෙන නල පද්ධතියක් ඇත.



ටර්බයින යන්ත්‍ර

ෆ්රැන්සිස් වර්ගයේ ටර්බයින යන්ත්‍ර 2ක් බලාගාරය තුළ සවිකර ඇති අතර එක් ටර්බයිනයකට මෙගා වොට් 77ක ශක්තියක් ජලයෙන් උකහාගෙන යාන්ත්‍රික ශක්තිය බවට පත් කිරීමට හැකියාව ඇත. සර්පිලාකාර බහාලුමක් තුළ ටර්බයිනය රදවා ඇත.


විදුලි ජනක යන්ත්‍ර

මෙගාවොට් 75ක විද්‍යුත් ශක්තියක් ජනනය කළ හැකි ජනක යන්ත්‍ර 2ක් බලාගාරය සතුවන අතර තඹ දඟරයක් තුළ විද්‍යුත් චුම්බකයක් විනාඩියට වට 600ක් කරකැවීම මගින් විදුලිය ජනනය කිරීම සිදුකරයි. ටර්බයිනයෙන් මෙලෙස ලැබෙන යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත්වේ. වාර්ෂික විදුලි ඒකක මිලියන 409ක් ජලවිදුලිබල පද්ධතියට එකතු කිරීමට ඉහල කොත්මලේ විදුලි බලාගාරය සමත් වෙයි. මෙසේ නිපදවන විදුලි ඒකක ප්‍රමාණය නිවාස ලක්ෂ පහකට පමණ විදුලිය සැපයීමට ප්‍රමාණවත්ය.



සම්ප්‍රේෂණ මාර්ගය

නියම්ගම්දොර පිහිටි ඉහළ කොත්මලේ බලාගාරයේ සිට ගම්පොල අටබාගේ ප්‍රදේශයේ පිහිටි වහරු අංගනය දක්වා මෙමගින් විදුලිය සම්ප්‍රේෂණය කරන අතර සම්ප්‍රේෂණ වෝල්ටීයතාවය කිලෝවෝල්ට් 220ක ප්‍රමාණයකි. සම්ප්‍රේෂණ කුලුණු 45කින් යුතු එම මාර්ගය කිලෝමීටර් 15.5ක් පුරා දිව යන්නකි.



ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල


ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය නිසා සිදුවූ ලොකුම පාඩුවක් වූයේ ලංකාවේ සුන්දරත්වය වැඩි දියුණු කළ මනරම් දිය ඇල්ලක් වූ ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල වසා දැමීමට සිදුවීමයි. මෙය පසුගිය කාලයේ දැඩිව කතාබහට ලක්වුණි. පසුව තීරණය වූයේ දිය ඇල්ලේ අසිරිය ආරක්ෂා වන පරිදි ජල ප්‍රමාණයක් කොත්මලේ ඔයට මුදා හැරීමටයි. ඒ අනුව ජලය ඝණ මීටර 47250ක් ඒ වෙනුවෙන් ජලාශයෙන් මුදා හැරේ.

එසේම තලවකැලේ-හැටන් ප්‍රධාන මාර්ගයට යාබදව, දිය ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන්, විශේෂ නැරඹුම් ස්ථානයක්ද ඉදිකොට ඇත.



ව්‍යාපෘති දත්ත

·         මුළු වියදම : රුපියල් බිලියන 55

·         ආධාර සැපයූ රට : ජපානය

·         විශේෂඥ උපදෙස් සැපයීම :
Elaectric Power Development Company, Japan


·         ප්‍රධාන කොන්ත්‍රාත් සමාගම් :
Maeda Corporation, Japan
Maeda Nishimatsu Joint Venture, Japan
Kurimoto Limited, Japan
Mitsubishi Corporation, Japan
Kinden Corporation, Japan


·         නැවත පදිංචි කරන ලද පවුල් සංඛ්‍යාව : 498

·         විදුලි ජනන හැකියාව : 150MW

·         ව්‍යාපෘතියේ ආරම්භක දිනය: 2003 නොවැම්බර් 16

·         වානිජ මෙහෙයුම් ආරම්භය : 2012 අප්‍රේල් 6



මේ සදහා වැඩි දුර තොරතුරු සදහා www.ukhp.lk වෙත පිවිසෙන්න



(මෙය ඉහළ කොත්මලේ විදුලි බලාගාරයේ සේවක සුභ සාදක සංගමය නිකුත් කළ අත් පත්‍රිකාවක් ඇසුරෙන් නිර්මාණය වූවක් බව දැනුම් දෙමි.)