1867 වසරේ ඇමරිකාවේ ඉසියානා ප්‍රාන්තයේ විල්විල් නම් ග්‍රාමයේ පවුලක දරු උපතක් සිදුවිය. ඔහුගේ දෙමාපියන් විල්බර් රයිට් යන තැබුවද, ඉන් ටික කලකට පසුව විල්බර්ගේ දෙමාපියන් ඔහුත් සමග වෙනත් ගමකට පදිංචියට ගියා.
මෙසේ වසර හතරක් යත්ම තවත් පිරිමි දරුවෙක් ඔවුන්ගේ පවුලට එක්විය. එම කුඩා දරුවාට ඔලිවර් රයිට් යන නම තැබුවා. කල්යත්ම සහෝදරයන් දෙදෙනා ඉතා සමීපව එකට ඉන්න පුරුදු වුණා. ඔවුන්ගේ පියා ඔවුන්ට සෙල්ලම් බඩු ගෙනත් දුන්නා. විල්බර් හා ඔලිවර් දෙදෙනාගේම අවධානය යොමුවූ එක් සෙල්ලම් බඩුවක් විය. ඒ තමයි බැට් යන අහසේ ටික වේලාවක් රදවා ගත හැකි හෙලිකොප්ටරයක් වැනි සෙල්ලම් බඩුවක්. එය ඔවුන්ගේ දෛවය නිසි මගට යොමු කලා කීවොත් වඩා නිවැරදියි. එලෙස අහසින් යා හැකි වාහනයක් හැදීමේ සිතුවිලිත් සමගින් ඔවුන් දෙදෙනා එකට වැඩුණා.
1884 වසරේ ඩෙම්ලර් විසින් මෝටර් කාරය සොයාගනු ලැබුවා. විල්බර් හා ඔලිවර් ජීවත් වූ ප්‍රදේශයේ වාහන වලට හොද ඉල්ලුමක් තිබුණා. ඒ නිසාම විල්බර් වාහන වෙළදාමට හවුල් වෙන්න තීරණය කළා. ඔලිවර්ගේ අදහස වූයේ ගුවනින් යා හැකි වාහනයක් නිර්මාණය කිරීමයි. අන්තිමට විල්බර්ද මේ අදහස පිළිගෙන දෙදෙනාම එක්ව අහසින් පියාඹන වාහනයක් නිර්මාණය කරන්න සූදානම් වුණා. මේ කාලයේ විල්බර් හා ඔලිවර් අලුත් වැඩක් පටන් ගත්තා. ඒ තමයි පාපැදි අලුත්වැඩියා කිරීම. ඔවුන් ඒ කාලයේ අලුත් තාලයේ බයිසිකලයක් නිර්මාණය කරන්න කටයුතු කළා. එහෙත් තම මූලික බලාපොරොත්තුව එලෙසම පැවතුණි.
1900 ඔක්තෝබර් මාසයේ රයිට් සහෝදරයන් දෙදෙනා “කිට්හෝස්” නම් කදුකරයේ රාත්‍රිය ගත කිරීමට පටන් ගත්තා. තමන් හැදූ පියාඹන වාහනයේ හරි වැරදි බලමින් තර්ක විතර්ක කරමින් මදුරුවන් හා සීතල නොතකා තම බලාපොරොත්තුව වෙනුවෙන් වෙහෙසුනාය. ඔවුන් පසුවදා එම වාහනය පරීක්ෂා කර බැලීය. ඒත් ඔවුන්ට පොළොවට සමාන්තරව අඩි කිහිපයක් පමණක් යා හැකිවිය. වාහනය පොළොවෙන් උඩ හරවන්නත් ඔවුන්ට පුලුවන් වුණා. මෙවැනිම වාහනයක් නිපදවා අත්හදා බැලීමට ගිය ජර්මන් ජාතික මාටින් ලිලියෙන්නල් 1895දී තම වාහනය හසුරුවාගත නොහැකිව වැටී මිය ගියේය.
රයිට් සහෝදරයෝ 1901දී ආපසු පරික්ෂාවක් කළා. එවර සුළගේ ආධාරයෙන් අඩි 389ක් ඉහළට ඉගිලෙන්න ඔවුන්ට පුලුවන් වුණා. ඒත් අවශ්‍ය දේ සොයාගන්න බැරි වුණා. “තව අවුරුදු 1000ක් යනකල් වත් අහස් යානයක් හදන්න මිනිසාට බැරි වෙයි” විල්බර් තම දිනපොතේ එසේ සටහන් කර තිබුණි. ප්‍රථිපල අසාර්ථක වුවද රයිට් සහෝදරයෝ නොසැලුණි. තමන්ගේ බයිසිකල් වැඩපොළේදී ඔවුන් තව තවත් පරීක්ෂණ කළා. විවිධ සටහන් ඇඳ අහස් යානයට ගැලපෙන හැඩයක් සෙවුවා. ඔවුන්ගේ උත්සහය කොතෙක්ද කිවහොත් 1902 වන විට එන්ජිම රහිත ගුවන් යානා 1000ක් පමණ හැදුවා. ඔවුන් අවසානයේ අඩි 600ක් දිග යානයක් හදන්නට සමත් වුණා. ඒත් මේ යානය ගමන් කරන්නේ කෙසේද? එයට එන්ජිමක් තිබුණේ නැහැ.
ඒ සදහා ගැලපෙන එන්ජිමක් හදන්නට ඔවුන් තීරණය කළා. අන්තිමට 1902 ඔක්තෝබර් මාසයේදී ඔවුන් රාත්තල් 125ක් බර අශ්ව බල 12ක එන්ජිමක් නිපදවූවා. එය ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා බලවත් එකක් විය. ඊලඟ ප්‍රශ්නය වූයේ අහස් යානයට අවශ්‍ය අවර පෙත්තක් සාදා ගැනීමයි. තමන් විසින්ම එය සාදා ගන්න රයිට් සහෝදරයෝ තීරණය කළා. අන්තිමට ඔවුන් යානයට ගැලපෙන අවර පෙත්තක් සකස් කළා. ගුවන් පථයක්ද නිර්මාණය කළා.
1903 දෙසැම්බර් 14 වන දින යානය තිබූ කාමරයේ වහලයේ කුඩා කොඩියක් දක්නට ලැබුණා. එයින් පැවසුනේ තමන් යන්ත්‍රය පරීක්ෂා කිරිමට සූදානම් බවයි. මේ නිසා බොහෝ දෙනක් රයිට් සහෝදරයෝ සොයා පැමිණියෝය. ඔවුන්ගේද උදව් ඇතිව වැඩි බරක් නැති යානය කදු මුදුනට ගෙන ගියා. ඉන් පසුව කාසියේ වාසිය උරගා බලා කවුද පළමුව යානයේ යන්නේයි තීරණය කෙරිණි. පළමුව විල්බර් හට එම වාසිය සැලසිණි. යානයේ කොටසක දිගා වූ ඔහුගේ දකුණු පැත්ත වේගය අඩු වැඩි කරන උපකරණයක්ද වම් අත පැත්ත යානය ඉහළට ගන්නා උපකරණයක්ද විය. විල්බර් අවරයන් ක්‍රියාත්මක කළා. විල්බර් කලබලයට පත්වී නියමිත වේලාවට කලින් යානය උඩගොස් බිම පතිත විය.
ඉන් දින 3කට පසුව යානය අලුත්වැඩියා කොට 17 වැනි දින යළිත් යානය ගුවන්ගත කිරීම සිදුවිය. එදින ඔලිවර් විසින් යානය මෙහෙය වීය. නිවැරදිව සිදු වුණා. තත්පර 12ක් ගුවනේ යාර 40ක් පමණ දුරක් ගමන් කළා. කරදරයක් නැතිව පහත් කළා. එදිනම තුන් වතාවක් මෙය ධාවනය කළ බව අනාවරණය විය. අවසන් උත්සහයේදී යාර 284ක් විනාඩියක් තුළදී ගමන් කරන්නට විල්බර් සමත් වුණා.
මෙතරම් කැපවීමෙන් නිර්මාණය කළ අහස් යානය අගය කරන්නට හෝ එයින් ප්‍රයෝජන ගන්නට කිසිවෙකු ඉදිරිපත් නොවුණි. ඒ නිසාම රයිට් සහෝදරයෝ පිටරට වලින් උදව් ලබා ගැනීමට උත්සහ කළා. ඒ උත්සහයේ ප්‍රථිපල ලැබුණේ 1908 – 1909දීය. එකල ඔවුන් දෙදෙනාගේ යුරෝපා සංචාරයේදී ප්‍රංශය රයිට් සහෝදරයන්ගේ යානා ලබා ගැනීමට කැමති විය. ඉන් පසුව ලෝකයේ බොහෝ දෙනෙක්ගේ ඇස් ඇරුණි. යුධ කටයුතු මගී ප්‍රවාහන කටයුතු සදහා මෙය ප්‍රයෝජනයට ගත හැකි බව ඇමරිකාව පවසා රයිට් සහෝදරයන්ට සියළු පහසුකම් සැලසුවා.
මේ ශ්‍රේෂ්ඨ සහෝදරයන් දෙදෙනාගෙන් වැඩිමලා වූ විල්බර් රයිට් 1912දී ද ඔලිවර් රයිට් 1948දී ද අවසන් හුස්ම හෙළුවේය.
පළමු ගුවන් යානයේ තොරතුරු
අහස් යානයේ ආරුක්කුව අඩි 40 අඟල් 4
දිග අඩි 21 අගල් 1
අහස් යානයේ වර්ගඵලය වර්ග අඩි 510
බර රාත්තල් 750ක් පමණ
1904 නොවැම්බර් 04 විනාඩි 5ක් පමණ කාලයක් අහස් යානය පියාසර කළේය.
1905 ඔක්තෝබර් විල්බර් රයිට් විනාඩි 38ක කාලයක් තුළ සැතපුම් 24ක් දුර ගමන් කළේය.
1908 සැප්තැම්බර් පැය බැගින් ගුවන් වාර 4ක් නිම කළේය
1908 දෙසැම්බර් 31 විල්බර් රයිට් පැය 2 විනාඩි 20 කාලයක් සැතපුම් 80ක් පියාසර කළේය.
(මෙම ලිපිය කේ.ආර්.ආරියසිංහ මහතාගේ ලොවේ ශ්රේෂ්ඨයෝ කෘතියේ උපුටා ගැනීමකි)