Friday 7 October 2016

දඩයම් යුගයේදී මිනිසා කෙසේ ජීවත් වූයේ දැයි විමසා බලමු

ඉතිහාසය යනු ජීවිතයේ නොයෙකුත් ගැටලු විසදා ගැනීමට යොදා ගත හැකි මාර්ගෝපදේශයක් කිවහොත් මා නිවැරදි යැයි සිතමි. ඊට හේතුව නම් අතීතයෙන් උගත් පාඩම් ඇසුරෙන් අනාගතයේ නොයෙකුත් ගැටලු වලට පිළියම් යෙදීමට අපට හැකිවීමයි.

සිංහල සබ්ජෙක්ට්ස් බ්ලොගය තුළින් අප ඔබට අදත් රසවත් ඉතිහාසය පාඩමක් ගෙන එන්නේ ඉහත පරමාදර්ශය හිතේ දරාගෙනය. එසේනම් අපගේ මේ රසවත් ලිපිය කියවා රසවිදින මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි.

මීට මාස ගණනකට පෙර අප ඔබට ගෙන ආ මානව පරිණාමය හා ශිෂ්ඨාචාරයේ උදාව පිළිබද ලියූ ලිපිය ඔබ කියවන්නට ඇතැයි සිතමි.

 අද අප මෙතැන් පටන් උත්සහ කරන්නේ ඉන් පසු මිනිසා සිය ගමන් මග අද දක්වා කෙසේ ගමන් කලේද යන්න විමසා බැලීමටයි.


ශිෂ්ඨාචාරයේ වර්ධනය

දීර්ඝකාලීනව සිදුවූ පරිණාම ක්‍රියාවලියකින් අනතුරුව “මිනිසා” යන සත්වයා මෙලොවට දායාද වූයේය. දෙපයින් නැගී සිටීමට හැකිවූවත් ශිෂ්ඨාචාරයක් ගොඩ නගා ගැනීම දක්වා ගමන් කිරීමට මිනිසාට ඉතා දිගු කාලයක් ගත වූයේය. තමාගේ මූලික අවශ්‍යතාවන් වන ආහාර, ඇදුම් හා නිවාස යනාදිය සපයා ගැනීමේ ගැටලුවට මිනිසා මීලගට එලැඹුණේය. ඒ අනුව නොයෙකුත් අභියෝගවලට මුහුණපාමින් යුග තුනක් පසුකල ඔහු අද හතරවන යුගයට පා තබා ඇත.

1)      දඩයම් යුගය
2)      එඩේර යුගය
3)      ගොවිතැන් යුගය
යනු මිනිසා එසේ පසුකළ යුග තුනයි. ඉහත එක් එක් යුග වලදී මිනිසා සිය මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීමට උත්සහ කළ ආකාරය විව්ධය. “ශිෂ්ඨාචාරයේ වර්ධනය” ලෙස හදුන්වන්නේ මේ වෙනස්වීමයි.
අද අප මේ ලිපිය තුළින් විමසා බැලීමට සැරසෙන්නේ දඩයම් යුගයේදී මිනිසා කෙසේ ජීවත් වූයේද ඔහු කුමන ගැටලු වලට මුහුණ පෑවේද යන්න විමසා බැලීමටයි.



දඩයම් යුගය

අදින් වසර ලක්ෂ පහ හමාරකට පෙර යුගයේ සිට වසර 50,000 ක් දක්වා අවුරුදු ලක්ෂ හතර හමාරක් පමණ කාලයක් පැවතියේ මේ දඩයම් යුගයයි. මිනිස් ශිෂ්ඨාචාරයේ ආදිම අවස්ථාව දඩයම් යුගයෙන් ආරම්භ වූයේ යැයි කිව හැකිය. වනයේ ජීවත් වූ මිනිසා ගල්, මුල්, ගෙඩි මෙන්ම සතුන් දඩයම් කර ආහාරයට ගැනීම ආරම්භ කලේ මේ යුගයේදීය.



මෙසේ සතුන් දඩයම් කිරීම සදහා පාෂාණවලින් සාදාගත් රළු මෙවලම් හෙවත් ආයුධ භාවිතා කළ බවට සාක්ෂි හමුවී ඇත. රළු ගල් ආයුධ භාවිතා කළ කාලය පූර්ව ශිලා යුගය ලෙස ඉතිහාසඥයන් අර්ථ දක්වා ඇත. දඩයම් කරගත් සතුන්ගේ මස් අමුවෙන්ම ආහාරයට ගත් අතර අලවර්ග, ගෙඩි වර්ග හා කොළ වර්ගද ආහාර සදහා එකතු කොටගෙන ඇත. මෙම යුගයේදී මිනිසා සිය වාසස්ථාන සදහා භාවිතා කරනු ලැබූයේ ගල් ගුහා, ගස් බෙණ හා විශාල ගස් රුප්පාවන්ය.

වන සතුන්ගෙන් හිරිහැර සිදුවීම, දඩයම් කිරීමට සතුන් නොසිටීම හා නියගය වැනි පාරිසරික බලපෑම් ආදිය මෙකල මිනිසාට එල්ල වූ අභියෝග ලෙස දැක්විය හැකිය. විලි වසා ගැනීමට භාවිතා කෙරුණේ කොළ අතු හා ගස් පට්ටා ආදියයි.

දඩයම් යුගයේ දෙවන අවස්ථාව ලෙස ඉතිහාසඥයන් අර්ථ දක්වන්නේ මධ්‍ය ශිලා යුගයයි. මෙම කාල පරිච්ඡේදයේදී යොදාගත් ආයුධ පූර්ව ශිලා යුගයේදී භාවිතා කළ ආයුධ වලට වඩා දියුණු ඒවා විය. සතුන් දඩයම් කිරීමෙන් පසුව ඉතිරිවන සත්ව හම්වලින් ඇදුම් සකසා ගැනීමද මෙකල ආරම්භ වූයේය.

දඩයම් යුගයේ තුන්වන අවස්ථාව වන්නේ නව ශිලා යුගයයි. මෙම කාල පරිච්ඡේදය තුල සිදුවූ සුවිශේෂීම සිදුවීම නම් මිනිසා විසින් ගින්දර සොයා ගැනීමයි. එය මිනිසා සිය ගමන් මගෙහි ලබාගත් සුවිශේෂීම ජයග්‍රහනයකි.



ගින්දර යොදාගෙන මස් පුලුස්සා ආහාරයට ගත් අතර එමගින් ආහාරවලට නව රසයක්ද එකතු වූයේය. එසේම ශීත කාලයේ උණුසුම ලබා ගැනීමටද එමගින් හැකිවිය.

නව ශිලා යුගය යනු මිනිසාගේ සුවිශේෂී පරිවර්තන රැසක් සිදුවූ අවධියක් විය.
·         බුද්ධිය වර්ධනය වීම
·         හීලෑ කරගත හැකි සතුන් හදුනා ගැනීම
·         කණ්ඩායමක් ලෙස වැඩ කටයුතු කිරීමට හුරු වීම
·         බෙදා හදාගෙන කෑමට බීමට පුරුදු වීම
·         ශබ්ද උපයෝගී කරගෙන අදහස් හුවමාරු කර ගැනීම
·         පවුල යන සංකල්පය ඇතිවීම
·         පවුලේ වගකීම් පිළිබද මූලික අවබෝධයක් ලබා ගැනීම

නව ශිලා යුගය තුල මිනිසා ජීවත් වූයේ ගෝත්‍ර වශයෙනි. මෙකී ගෝත්‍රයක් සමන්විත වූයේ පවුල් කිහිපයකිනි. විශේෂයෙන්ම ආරක්ෂාව පතා මෙසේ ගෝත්‍ර වීම ඔවුන්ට විශාල වාසියක් ගෙන දුන්නේය.

දඩයම් යුගයේ අවසාන කාලය වනවිට විවිධ ඇදහිලි ක්‍රම අනුගමනය කිරීමට මිනිසා හුරුවිය. ස්වභාව ධර්මයේ වර්ෂාව, සුළග හා ගින්න ආදිය පිළිබදව ඔවුන්ට දැනුමක් මෙන්ම අවබෝධයක් නොවූ නිසාම ඒවා ඔවුන්ට විපත් ගෙන දුන්නේය. ගෙරවීම, විදුලි කෙටීම, හෙණ පිපිරීම යනාදිය ඔවුන්ව දැඩි භීතියකට පත්කළ කාරණා විය. විශාල ගල් පර්වත හා විශාල රූස්ස ගස් යනාදිය ඔවුන්ට ගුප්ත හැගීම් ජනිත කළේය. මේ හේතුව නිසා දඩයම් යුගයේ මිනිසා ගස්වැල් වැදීම හා මලවුන් ඇදහීම වැනි ඇදහිලි වලට ඉබේම යොමුවිය.

දඩයම් යුගයේ අවසාන කාලය වනවිට එවකට භාවිතා කළ රළු ගල් මෙවලම් වෙනුවට වඩාත් ඔපමට්ටම් කරන ලද ගල් මෙවලම් භාවිතය ආරම්භ වී තිබුණි. දීර්ඝ කාල වකවානුවක් තුළ දිවුණු දඩයම් යුගය තුළ මිනිසාට එල්ල වූ ප්‍රධානම අභියෝගය වූයේ වනයේ තැන තැන ඇවිද යමින් සතුන් දඩයම් කර ගැනීමේ දුෂ්කරතාවයයි. සතුන් අඩුවී යාම මෙන්ම දඩයම් නොලැබීම හේතු කොටගෙන මෙකල මිනිසා අපහසුතාවයට පත්වූවා සේම එම අභියෝගය ජය ගැනීමට ඔහු දැරූ ප්‍රයත්නයේ ප්‍රථිපලය ලෙස ඊලග යුගය වන එඩේර යුගය බිහිවූයේය.
 මීලග ඉතිහාසය ලිපිය තුලින් එඩේර යුගයපිලිබදව තොරතුරු ගෙන ඒමට අප සූදානම්. එතෙක් අප සමග දිගටම රැදී සිටින මෙන් අපගේ මිතුරන්ගෙන් ඉල්ලා සිටිමි. මෙම ලිපිය අනෙකුත් ඔබගේ මිතුරන්ටත් කියවීමට හැකි ලෙස හැකි තරම් සමාජ ජාල තුලට ෂෙයා කරන්න.