Wednesday 12 October 2016

එඩේර යුගයේදී මිනිසා කෙසේ ජීවත් වූයේද

මීට පෙර අප ඉතිහාසය විෂය වෙනුවෙන් ලියූ ලිපියේදී ශිෂ්ඨාචාරය වර්ධනය වූ ආකාරය පිළිබදවත් දඩයම්යුගයේදී මිනිසා ජීවත් වූ ආකාරය පිළිබදවත් දැනුම ගෙන ආවා මතක ඇති. අද අප මේ ලිපිය තුළින් ඔබට දැනුම ගෙන ඒමට සූදානම් වන්නේ එඩේර යුගය පිළිබදවයි.


එඩේර යුගය


වනයට ගොස් සතුන් දඩයම් කොට ආහාර ලබා ගන්නවා වෙනුවට සතුන් ඇතිකොට එමගින් ආහාර නිෂ්පාදනය පහසු බව මිනිසාට තේරුම් යාමත් සමග එඩේර යුගය ආරම්භ විය. මීට වසර 50000 සිට 10000 දක්වා කාලය එඩේර යුගය පැවති කාලය බව පිළිගැනීමයි. මිනිසා මුලින්ම හීලෑ කරගනු ලැබූ සත්වයා වූයේ බල්ලාය. ඒ අනුව දඩයම්වලදී බල්ලාගෙන් විශාල සේවයක් ලැබුණි.

එළුවන්, ගවයන්, බැටලුවන් වැනි සතුන් එඩේර යුගයේදී හීලෑ කරගත් සතුන් අතර ඉතාම වැදගත් විය. මෙසේ හීලෑ කරගත් සතුන්ට ආහාර සොයා තැනින් තැන යාමට සිදුවූ නිසාම මිනිසාට මෙම යුගයේද ස්ථිර වාසස්ථාන කිසිවක් නොවීය.

තැනින් තැන ගෙනයාම සදහා ගින්දර ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වූ බැවින් ගිනිගොඩට ඉහලින් මැස්සක් සාදා කොළ අතු ආදිය සෙවිලි කිරීමෙන් ගින්න, වැස්සෙන් බේරාගත හැකිවූ අතර එම සෙවන යටතේ නොතෙමී ගිනි තැපීමට, මස් හා ආහාර පුලුස්සා අනුභව කිරීමට හැකිවිය. නිවාසය යන සංකල්පය ඇතිවූයේ ඒ අනුවය. පසුව සතුන්ගේ හම් යොදාගෙන කූඩාරම් සෑදීමට මිනිසා හුරුවිය.

වස්ත්‍ර සදහා සත්ව හම් වැඩිපුර යොදාගත් අතර කොළ අතු හා ගස්වල පට්ටා ආදිය ඇදීම ක්‍රමයෙන් අඩුවී යන ආකාරය මෙකල දැකිය හැකිවිය. එසේම තමන් ඇතිකල සතුන්ගේ කිරි බීමටද මිනිසා හුරුවිය. එසේම සත්ව කරුණාව ක්‍රමයෙන් මිනිස් සිත් තුළට කා වැදීමද සිදුවිය. ඒ අනුව සතුන් පිළිබඳව ආදරය හා කරුණාව ඔවුන්ගේ සිත් තුළට ඇතුලු වූවා පමණක් නොව මස් මාංශ වලට සතුන් මරණයට පත් කිරීම පිළිබඳව දෙගිඩියාවක්ද ඔවුන්ගේ සිත් තුළට ඇතුලු විය.



ආගමික විශ්වාසයන් අතර ස්වභාවික සතුන් වැදීම හා පිදීම, මළවුන් පිදීම වැනි දේ ප්‍රධාන විය. මිනිසා ජීවත් කරලීම සදහා නිතර නිතර ජීවිත පූජා කළ අහිංසක සතුන්ට ගරු කිරීම සදහා සත්ව වන්දනා පැවැත්වීමට මිනිසා පටන් ගත්තේය.

එඩේර යුගයේදී මිනිසාට එල්ලවූ ප්‍රධානතම අභියෝගය වූයේ තැනින් තැන ගමන් කරමින් ගෙවුණු එඩේර ජීවිතයේ කටුක බවයි. නියං සමයේදී සතුන්ට ආහාර හා ජලය සපයා දීම ඉතා අපහසු කටයුත්තක් වූ අතර සතුන් විශාල ලෙස ලෙඩ වීමද සිදුවිය. මේ නිසාම මහා පරිමාණයෙන් සතුන් ඇති කිරීම ක්‍රම ක්‍රමයෙන් අඩුවීමද සිදුවිය.

එඩේර යුගයේ අවසාන කාලය වනවිට ධාන්‍ය, අල වර්ග හා පලතුරු තම වාසස්ථාන අවට වගාකර ඒවා ආහාරයට ගැනීම වඩාත් පහසු බව මිනිසාට අවබෝධ විය. ඒ නිසාම තමා ගෙවූ සංචාරක ජීවිතය නවතා දමා ස්ථිර පදිංචියක් ඇතිකර ගත යුතුයි යන්න මිනිසාට වැටහී ගියේය.


මීලගට මිනිසා එලැඹුණේ ගොවිතැන් යුගයටයි. මේ පිළිබඳව මීලග ඉතිහාසය ලිපිය තුලින් දැනුම ගෙන ඒමට අප සූදානම්. එතෙක් අප සමග රැදී සිටින මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි.