Sunday 9 October 2016

NDT හෙවත් මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාව පිළිබඳව දැන ගනිමු

 සමහර විට ඔබ උසස් පෙළට ගණිත විෂය ධාරාව හදාරන්නට ඇත්තේ ඉංජිනේරුවකු වීමේ සිහිනය ඇතිවය. නමුත් අද තිබෙන තරගකාරී විභාග රටාව මත සමහර විට එම කඩයිම සපුරා ගැනීමට ඔබට නොහැකි වන්නට ඇත. නමුත් ඔබට අහිමි වූ ඒ සිහිනය නැවත යතාර්ථයක් කරගත හැකි මාර්ගයක් වනුයේ මොරටුව විශ්ව විද්‍යාලය මගින් පවත්වන වසර තුනක තාක්ෂණ විද්‍යා ඩිප්ලෝමා හෙවත් NDT තුළිණි. NDT සදහා අයදුම් කරලීමට ඔබට අවම වශයෙන් ගණිත විෂය ධාරාවට 3S ප්‍රථිපලයක් සෑහේ. නමුත් වර්තමානයේ මෙම පාඨමාලාව සදහාද ඇති දැඩි ඉල්ලුම නිසා මෙම පාඨමාලාවට ඇතුලත් වීමට තරමක් ඉහල විභාග ප්‍රථිපලයක් වගේම මොරටුව විශ්ව විද්‍යාලය මගින් පවත්වන විශේෂ සුදුසුකම් ලැබීමේ විභාගය(Aptitude Test) සමත් වීම අනිවාර්යය වේ.




NDT පාඨමාලාව යනු කුමක්ද?

වර්තමානයේ මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනයෙහි පවත්වාගෙන යන තාක්ෂණ විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NDT) වසර 75 ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියයි. රටකට මහගු සම්පතක් වූ සම්බන්ධීකාරක ඉංජිනේරුවන් සැපයීමට දායක වන ප්‍රමුඛතම සහ විශ්ව විද්‍යාලයක් තුල පවත්වාගෙන යන එකම ඩිප්ලෝමා පාඨමාලාව ලෙස තාක්ෂණ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව(NDT) අද තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලින්ම නමක් දිනාගෙන සිටී. ක්ෂේත්‍රයේ 95% කටම දැනුමෙන් හා හැකියාවෙන් මනාලෙස පරිපූර්ණ ඉංජිනේරුවන් ක්ෂේත්‍ර 9ක් ඔස්සේ සැපයීමට NDT පාඨමාලාවට හැකියාව ලැබී ඇත.




 විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු තාක්ෂණය (Electronic & Telecommunication Engineering Technology)

වර්තමානයේ 40 දෙනෙකු බදවා ගන්නා මෙම ක්ෂේත්‍රය හැදෑරීමෙන් දුරකථන සේවා (Telecommunication) රූපවාහිනී හා ගුවන් විදුලි සේවා, පරිගණක ජාලකරණ සේවා, වෛද්‍ය උපකරණ සේවා වැනි රැකියාවන්හි නියුක්ති වීමට හැකියාව ලැබේ. මෙම ක්ෂේත්‍රයේ යන්ත්‍රාගාර පුහුණුව සදහා ලැබෙන ආයතන කිහිපයක් නම්
·         Sri Lanka Telecom
·         Rupavahini
·         Lanka Transformer
·         Dialog, Mobitel, Hutch, Etisalat
·         Sri Lanka Airline




විදුලි ඉංජිනේරු තාක්ෂණය (Electrical Engineering Technology)

මෙම ක්ෂේත්‍රයට බදවා ගන්නා ප්‍රමාණය 40ක් වන අතර මෙමගින් ආවරණය කෙරෙන විෂය ක්ෂේත්‍රයක් නම් ජල විදුලි බල තාක්ෂණය (Hydro Power), තාප විදුලි බල තාක්ෂණය (Thermo Elecricity), විදුලිබල බෙදා හැරීම (Power Distribution), බල පද්ධති පාලනය (Power Control & Electronics) ආදිය වේ. පහත සදහන් ආයතන වල ප්‍රායෝගික පුහුණුවීම් සදහා පහසුකම් සපයයි.
·         Ceylon Elecricity Board (CEB)
·         Lanka Transformer
·         Ceylon Water Board
·         Electro Serve Company & Ltd





රසායන ඉංජිනේරු තාක්ෂණය (Chemical Engineering Technology)

සිසුන් 25ක් බදවා ගන්නා අතර මෙම ක්ෂේත්‍රය රසායනික කර්මාන්ත ආශ්‍රිතව රැකියාවල නිරත වීමට හැකියාව ලැබෙන අතර උදාහරණ ලෙස පෙට්‍රෝලියම් නිෂ්පාදනය, ලුණු නිෂ්පාදනය, සබන් ක්ෂාලක, පොහොර, ජලය ආශ්‍රිත කර්මාන්ත, යනාදී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ පැතිර ඇත. මෙම ක්ෂේත්‍රයේ යන්ත්‍රාගාර පුහුණුව සදහා ලැබෙන ආයතන නම්,
·         Pelawatta sugar, Sewanagala sugar
·         CIC paints
·         Elephant house
·         Caltex




සිවිල් ඉංජිනේරු තාක්ෂණය (Civil Engineering Technology)

සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රය යනු ගොඩනැගිලි ඉදිකිරීම, මංමාවත් හා වාරිමාර්ග මූලික කර ගත් විෂය ක්ෂේත්‍රයකි. මේ සදහා වසරකට සිසුන් 80ක් ඇතුළත් කරගන්නා අතර විෂය දෙස බැලීමේදී ඉතා පුළුල්ම විෂය නිර්දේශයක් මෙමගින් ආවරණය කරයි.
·         MAGA
·         ICC
·         Sierra
·         Sanken
·         Access
ආදී විශාල ආයතන සංඛ්‍යාවක් මෙම සිසුන්ගේ ප්‍රායෝගික පුහුණුවීම් සදහා පහසුකම් සලසයි.




යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය (Mechanical Engineering Technology)

සිසුන් 60ක් වසරකට ඇතුලත් කරගන්නා මෙම ක්ෂේත්‍රය ප්‍රධාන වශයෙන් පහත ක්ෂේත්‍ර ආශ්‍රිතව රැකියා සපයයි.
1.      ස්වයං චලන ඉංජිනේරු තාක්ෂණය(Autumobile)
2.      නිෂ්පාදන ඉංජිනේරු තාක්ෂණය(Production)
ඔවුන් සදහාද ඉතාමත් පුළුල් විෂය නිර්දේශයක් ආවරණය කෙරේ. රථවාහන කර්මාන්තය තුළත් කර්මාන්තශාලා ආශ්‍රිතව නිෂ්පාදන ක්‍රියාවලීන්ගේ දැවැන්ත දායකත්වයක් දක්වන ඔවුන්ට ප්‍රායෝගික පුහුණුව සදහා පහසුකම් සපයන ආයතන නම්
·         Dockyard
·         C.G.R
·         Dimo
·         Holcim,Port,Ciko





නාවික ඉංජිනේරු තාක්ෂණය (Marine Engineering Technology)

NDT නාවික ඉංජිනේරු පාඨමාලාව 1978 දී UNESCO ආධාර ඇතිව ආරම්භ කළ අතර මෙම ක්ෂේත්‍රය සදහා වසරකට සිසුන් 15ක් ඇතුළත් කර ගනී. සාර්ථකව පාඨමාලාව අවසන් කළ පසු නැවක නාවික ඉංජිනේරුවකු වශයෙන් හෝ ගොඩබිමේදී නැව් අළුත්වැඩියාව හා බලශක්ති නිෂ්පාදනාගාර නඩත්තු ඉංජිනේරු යන ක්ෂේත්‍ර වලට යොමුවිය හැකිය. වසර දෙකක අධ්‍යන කාලයකින් හා වරාය අධිකාරිය තුළ හා කොළඹ නැව් තටාංගනය (Colombo Dock Yard) තුළ මාස 6 බැගින් වූ පුහුණුවකට තම තෙවන වසර තුළදී ඔවුන් යොමු කරයි. NDT නාවික ඉංජිනේරු පාඨමාලාව  ISO 9002 තත්ත්ව සහතිකයද හිමිකරගත් විශේෂ පාඨමාලාවකි.




නෞකා චාලන හා අධ්‍යන පාඨමාලාව (Nautical Studies & Technology)

1987 වර්ෂයේදී ආරම්භ වූ මෙම පාඨමාලාව මොරටුව විශ්ව විද්‍යාලය හා නාවික කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව පවත්වාගෙන යනු ලබන අතර වසරකට සිසුන් 15ක් ඇතුළත් කර ගනී. ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති නාවුක නිළධාරීන් (Deck Officers) බිහි කිරීම මෙම පාඨමාලාවේ මූලික අරමුණයි. ශ්‍රී ලංකාව තුල විශ්ව විද්‍යාලයක පවත්වන එකම නැවියන් බිහිකිරීමේ පාඨමාලාව වන මෙම පාඨමාලාව ISO 9002 තත්ත්ව සහතිකය හිමිවී ඇති අතර දකුණු ආසියාව තුළ නිදහස් අධ්‍යාපනය යටතේ ඇති එකම Nautical පාඨමාලාව වේ.
            මෙම ක්ෂේත්‍රය තුන් අවුරුදු පූර්ණකාලීන පාඨමාලාවක් වන අතර පළමු හා තෙවන වර්ෂයන් න්‍යායාත්මක අධ්‍යන සදහාද දෙවන වර්ෂය ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ ලංකා මහපොළ නැවේ හා විදේශීය නැව් වල ප්‍රායෝගික පුහුණුව සදහා යොමු කෙරේ.





පොලිමර් ඉංජිනේරු තාක්ෂණය (Polymer Engineering Technology)

වසරකට සිසුන් 25ක් ඇතුළත් කරගන්නා මෙම ක්ෂේත්‍රය බහුඅවයවික නිෂ්පාදනය එනම් ප්‍රධාන වශයෙන් රබර් (natural & synthetic) ප්ලාස්ටික් හා ෆයිබර් fiber පිළිබඳව අධ්‍යයනය කරයි. පොලිමර් තාක්ෂණය ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම අධ්‍යනය කරනු ලබන්නේ NDT පාඨමාලාව තුළ පමණි. ඔවුන්ට යන්ත්‍රාගාර පුහුණුව සදහා විවෘතව ඇති ස්ථානවලින් කිහිපයක් නම්,
·         Dry rubber CEAT, DSI, Loadstar
·         Latex Ancell Lanka, Lalan
·         Plastic Anton, Damro, S-Lon
·         Paints & Adhesive Industries





පේෂකර්ම හා ඇගලුම් තාක්ෂණය (Textile & Clothing Technology)

වසරකට සිසුන් 50ක් ඇතුළත් කරගන්නා මෙම පාඨමාලාව නිදහස් අධ්‍යාපනය යටතේ විශ්ව විද්‍යාලයක් තුළ පවත්වාගෙන යන එකම පේෂකර්ම ඩිප්ලෝමා පාඨමාලාව වේ. මෙහිදී නූල් නිෂ්පාදනය හා වෙළඳකරණය, විවීම (yarn manufacturing, marketing, merchandisising, and weaving) යන විෂය ක්ෂේත්‍රයන් ආවරණය කෙරේ. ඇගලුම් ක්ෂේත්‍රයේ විධායක ශ්‍රේණියේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් විවරව ඇති ඔවුන්ට යන්ත්‍රාගාර පුහුණුව ලබාදෙන ආයතන කිහිපයක් නම්,
·         Slim line, Body line, Shadow line
·         MAS Engineering Centre
·         Smart Shirts
දැක්විය හැකිය.




මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණික විද්‍යා ආයතනය මගින් පවත්වාගෙන යනු ලබන NDT පාඨමාලාව මොරටුව විශ්ව විද්‍යාලය තුළ සියළු පහසුකම් ලබන තුන් අවුරුදු පූර්ණකාලීන අභ්‍යන්තර පාඨමාලාවකි. දෑ අවුරුදු න්‍යායික අධ්‍යාපනයකින්ද එක් අවුරුදු යන්ත්‍රාගාර පුහුණුවකින්ද යුතු මෙම පාඨමාලාව සාර්ථකව හැදෑරීමෙන් පසු සම්බන්ධීකාරක ඉංජිනේරුවරයකු ලෙස තාක්ෂණ ක්ෂේත්‍රයට පහසුවෙන් ඇතුල් වීමට හැකියාව ලැබේ. NDT ඩිප්ලෝමාධාරීන් හට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) වරලත් ඉංජිනේරු ආයතනයේ (CEI), ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ (BTech), විභාග සාර්ථක ලෙස නිම කිරීමෙන් MSc,PhD උපාධි මට්ටම් කරා ළගා විය හැකිය.







(මෙම ලිපිය මොරටුව විශ්ව විද්‍යාලයේ NDT පාඨමාලාව මගින් ලබාදුන් අත් පත්‍රිකාවක් ඇසුරෙන් සකසන ලද්දකි)